නැවේ අනතුර:සතුන්ගේ කොටස් කැළයකින් මතුවුණේ කොහොමද?

නැවේ අනතුරෙන් පසු ගොඩ ගැසූ සතුන්ගේ කොටස් කැළයකින් හමුවුණේ කොහොම ද?

by Staff writer 11-07-2021 | 11:39 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු මියගිය බව සැලකෙන මුහුදු ජීවින්ගේ සිරුරු කිහිපයක් කිලිනොච්චි, පොන්නගර් ප්‍රදේශයට ගෙනවිත් දමා ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

එම මුහුදු ජීවින් මෙලෙස ගෙනවිත් දමා තිබුණේ කිලිනොච්චි, පුලික්කුලම් වැව ආශ්‍රිත ප්‍රදේශයටයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප කිලිනොච්චි වනජීවී කාර්යාලයෙන් අප විමසීමක් කළෙමු. එහි වෛද්‍ය බී. ගිරිදරන් මහතා පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව අදාළ සත්ත්ව කොටස් පොන්නගර් ප්‍රදේශයේ පිහිටි රක්ෂිත කලාපයට බැහැර කළ බවය. ගිරිදරන් මහතා පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මියගිය බව සැලකෙන සත්ත්වයින් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි. කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේ මෙරට වෙරළ තීරයන්ගෙන් හමු වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් සත්ත්වයින් වැනි මුහුදු ජීවීන් සහ ඔවුන්ගේ සිරුරු කොටස් මෙලෙස බැහැර කිරීමේ හැකියාවක් ඇත්දැයි අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අධිකරණ නියෝග මත සත්ත්ව කොටස් හෝ මිය ගිය සතුන්ගේ සිරුරු විනාශ කළ හැකි බවය.