තවත් ගල් අඟුරු බලාගාර එපා - ජනපති

තවත් ගල් අඟුරු බලාගාර එපා, ලෝකය හමුවේ විහිළුවට ලක්වන්න බැහැ.. - ජනපති අවධාරණය කරයි

by Staff writer 11-07-2021 | 9:39 PM

COLOMBO (News 1st) - කිසිදු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් අද(11) වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කර ඇත්තේ, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල සුළං හා ජල විදුලි ජනන රාජ්‍ය අමාත්‍යංශ මාසික සමාලෝචන රැස්වීමේදීය. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය යුතු බවට තමා පොරොන්දු වී ඇති බැවින්, ලෝකය ඉදිරියේ විහිළුවක් වීමට තමාට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා අදාළ රැස්වීමේදී අවධාරණය කර ඇතැයි අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමග නොරොච්චෝලයේ, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ යෝජිත මෙගාවොට් 300 ක 04වැනි ඉදිකිරීම් ව්‍යාපෘතිය අර්බුදයට ලක් වී තිබේ. එම 04 වැනි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබා දුන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි. නොරොච්චෝලයේ මුල් බලාගාර 03ම ඉදිකළ අදාළ සමාගම 04 වැනි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කර බලාගාරය ඉදිකිරීමට මුලපුරමින් නීතිඥයින්, මූල්‍ය උපදේශකයන් ඇතුළු අනෙකුත් විශේෂඥයින්ගේ සේවාව ද ලබාගෙන ඇති බව එම පුවත්පත් වාර්තාවේ සඳහන්. අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, වසර 2030 වනවිට රටේ මුළු විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් ලබාගත යුතු බවට වූ තම ඉලක්කය අනුව කටයුතු කරන ලෙසය. පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනක් වෙනුවෙන් ජනාධිපතිතුමා මේ ගත් තීරණය ජනතාවගේ ඇගයීමට ලක්විය යුත්තකි.