හෙද සංගම් කිහිපයක් හෙට‌, අනිද්දා ලෙඩ නිවාඩු

හෙද සංගම් කිහිපයක් හෙට‌(01) සහ අනිද්දා ලෙඩ නිවාඩු..

by Staff writer 30-06-2021 | 8:55 PM

COLOMBO (News 1st) - හෙද වෘත්තීය සමිති හෙට(01) සිට ඒකාබද්ධ වෘත්තිය සමිති අරගලයකට සූදානම් වෙයි.

ඔවුන් අද(30) නිවේදනය කළේ, හෙට(01) සහ අනිද්දා(02) ලෙඩ නිවාඩු වාර්තා කරන බවය. මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව මෙම වෘත්තිය සමිති අරගලයට අවතීර්ණ වී සිටී. මේ සම්බන්ධ තීරණයට අද ඔවුන් එළැඹුණේ හෙද සංගම් විධායක කමිටු සාමාජිකයින් අතර ඔන්ලයින් ඔස්සේ සිදු කළ සාකච්ඡාවකින් පසුවයි. 2015 වර්ෂයේදී හෙද කාර්යය මණ්ඩලයට ලබාදීමට එකඟ වූ රුපියල් 15,000 ක නිදිවර්ජිත ප්‍රවාහන හා අනතුරු දීමනාව ලබා ගැනීම, නියමිත ක්‍රියාවලිය තුළ අදාළ උසස්වීම් ලබාදීම සහ සියලුම හෙද විදුහල් විශ්වවිද්‍යාල පීඨ බවට පත්කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් අතර වේ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද වෘත්තීය සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,
සාකච්ඡා 11 ක් පැවැත්තුවා ප්‍රකාශයට පත් කරලා ඒවා ලබා දෙන්න කටයුතු කරනවා කියලා සටහන් පමණයි. පසුගිය 09 වෙනි දා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ලොකු සාකච්ඡාවක් කළා. නිලධාරීන් සියලු දෙනාම ගිහිල්ලා ඇමතිතුමිය ඇතුළු පොරොන්දු දුන්නා. මේ අදාළ කරන්න පුළුවන් චක්‍රලේඛ නිකුත් කරලා කැබිනට් අමාත්‍ය නිකුත් කරලා ක්‍රියා කරන්න කියන එක. නමුත් අද මේ මොහොත වෙනකම් අගමැතිතුමාගේ සාකච්ඡාවේදී ගත්ත තීන්දුව ක්‍රියාත්මක කළෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත තින්දුව ක්‍රියාත්මක කළෙත් නැහැ. ලෙඩ නිවාඩු දමලා එයින් අවධානය යොමු නොවුනොත් ජූලි මාසේ 07 වෙනි දා ඉදලා අඛණ්ඩ වැඩවර්ජනයක් දිවයින පුරාම දිගටම ගෙනියන්නටත් අපි සුදානම් වෙලා තියෙනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා,
රෝහල් 1103 ක හෙද නිලධාරීන් ජාතික රෝහල් දෙකත්, ශික්ෂණ රෝහල් 26 ක් මහ රෝහල් 17 ක් ඒ වගේම විශේෂිත රෝහල් හැර අනිත් සියලුම රෝහල්වල හෙද නිලධාරීන් මේ ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධ වෙනවා ලංකාවේ තියන සියලුම කොවීඩ් 19 වලට අදාළ රෝහල්වල මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ නැහැ. අද රෑ 12 ට පෙර අපට විසඳුමක් දෙනවා නම් අපි කැමතියි මේ ක්‍රියාමාර්ගවලින් ඇයින් වෙන්න.අපට මේ රටේ මිනිස්සුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ.
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. බී. මැදිවත්ත මහතා,
හෙද සේවාවේ හෙද හෙදියන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් හෙද හෙදියන්ගේ ගැටලු විසඳීම සඳහාත් විශේෂයෙන් කොරෝනා රෝගයෙන් බැට කන මේ රටේ අහිංසක රෝගී ජනතාවගේ ජීවිතවල වටිනාකමත් සලකලා අපිට අකමැත්තෙන් උවත් සිද්ධ වෙනවා වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න කරුණාකරලා මේ ගැටලු විසඳන්න.