වනජීවී නිලධාරීන්ට පහර දුන් අය අත්අඩංගුවට ගන්න..

වනජීවී නිලධාරීන්ට පහර දුන් බවට සැක යුද හමුදා මේජර් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග

by Staff writer 30-06-2021 | 9:25 PM

COLOMBO (News 1st) - මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, මරණීය තර්ජන ද එල්ල කර, වනජීවී නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසට කැකිරාව දිසා විනිසුරු සමන් වැරණියගොඩ මහතා අද(30) නියෝග කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු භාතිය මඩුගල්ලේ සහ වන සත්ත්ව අඩවි ආරක්ෂක එම්.ඩබ්ලිව්.කේ. වාසල යන නිලධාරින් හබරණ පොලීසියට පැමිණිලි 02ක් කර තිබුණි . පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේ, මෙම පැමිණිලි පදනම් කරගෙනයි. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස හබරණ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එය තරයේ ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හා ඔවුන් ගමන් ගත් වාහන ගැන අනාවරණය වී තිබියදී ඔවුන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි පොලීසියෙන් ප්‍රශ්න කළේය. මෙතෙක් සැකකරුවන්ගෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට අසමත් වීම පිළිබඳව හබරණ පොලීසියේ ක්‍රියාකලාපය අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. සැකකරුවන් ප්‍රකාශ ලබා දීමට පොලීසියට නොපැමිණෙන්නේ නම් ඒ ගැන ද අධිකරණයට දැනුම් දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. හබරණ පොලීසිය ප්‍රකාශ කළේ හමුදා භට කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කිරීමෙන් නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි කර ඇති බවට මේජර් ජනරාල් මහන රත්නායක මහතා වනජීවී නිලධාරීන්ට විරුද්ධව පැමිණිල්ලක් කර ඇති බවය. ජාතික වනෝද්‍යානයකට අනවසරයෙන් ඇතුළුවීමේදී පරික්ෂා කිරීමට වනජීවී නිලධාරීන්ට නීතිමය අයිතියක් නැද්දයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය. ඊට අවසර ඇති බව පොලීසියේ ප්‍රතිචාරය විය. මෙම අධිකරණමය සිද්ධියට පාදක වූයේ, ජුනි 23 වැනිදා රාත්‍රියේ අලි පැටවකු පැහැර ගැනීමේ තැතක් පිළිබඳව වනජීවී නිලධාරීන් සිදු කළ වැටලීමක් අතරතුරදී හමුදා නිලධාරි පිරිසක් අනවසරයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම හේතු කොටගෙනයි.