රජය කොවිඩ් පාලනයට රු.බි. 262ක් වැය කරලා

රජය කොවිඩ් පාලනයට 2020 සිට මේ දක්වා රුපියල් බිලියන 262ක් වැය කරලා.. - මුදල් අමාත්‍යාංශය

by Staff writer 30-06-2021 | 6:57 PM

COLOMBO (News 1st) - කොවිඩ් වසංගතය පාලනය සදහා 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වැයකර ඇතැයි අද(30) අනාවරණ විය.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හා මහ බැංකු අධිපතිවරයා මෙහිදී රටේ ආර්ථිකය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, පොලී අනුපාතය අඩු කරමින් ණය සහන ලබා දෙමින් රටේ උද්ධමනය සියයට 4 සිට 6 දක්වා පවත්වාගෙන යාමට හැකි වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන් බවය. පසුගිය මැයි මාසයේ එය 6.1 ක් හෝ 6.2 ක් දක්වා ඉහළ ගියත් අය අඩු කර ගැනීමට හැකිවූ බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ. ඔහු පෙන්වා දී ඇත්තේ විමධ්‍යගත අරමුදලින් රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යපෘති ගණන 11,000ක් බවය.