කාන්තාවකට දෙවනි මාත්‍රාව දෙපාරක් විදලා..

මහරගම කාන්තාවකට කොරෝනා මර්දන දෙවනි මාත්‍රාව දෙපාරක් විදලා..

by Staff writer 30-06-2021 | 10:32 PM

COLOMBO (News 1st): සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට ගිය කාන්තාවකට මාත්‍රා දෙකක් එකවර එන්නත් කිරීමේ සිදුවීමක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අදාල කාන්තාව පවසන්නේ එම සිදුවීමෙන් පසු තමන්ට විවිධ සංකූලතා මතුවූ බවය. පසුගිය 16 වැනිදා රසිකා ප්‍රියදර්ශනී නැමැති මෙම 46 හැවිරි දි කාන්තාව මාකුඹුර, පන්නිපිටිය, විජයගෝෂ විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ගොස් ඇත්තේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහායි. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් එම මධ්‍යස්ථානයේදී අතපසුවීමකින් තමන්ට දෙවරක් එන්නත් කළ බවට මෙම කාන්තාව චෝදනා කරයි. රසිකා ප්‍රියදර්ශනී, (දෙවන මාත්‍රාව දෙපාරක්ම එන්නත් කළ බව කියන කාන්තාව)
හැම පුටුවකටම අදාලව බෙහෙත් විදින්න කෙනෙක් හිටියා. ඉඳගන්න සැනින් විදිනවා විදපු සැනින් පුළුන් කෑල්ල දීලා නැගිටලා යන්න තමයි තියෙන්නේ. මට කිව්වා අත හදාගන්න කියලා අත මෙහෙම කරලා අත හදලා දුන්නා. දුන්නට පස්සේ මෙතන්ට හරියට කට්ට තියනකොට මම ඇස් දෙක වහලා අහක බලාගත්තා. ඉතිං මම පුළුන් කෑල්ලක් දෙනකම් එයාගේ දිහා බලාගෙන හිටියා එයා මට පිටිපස්ස බලාගෙන හිටියේ එයා මට පුළුන් කෑල්ලක් දුන්නේ නෑ මම එයා දිහා බලන් ඉන්න අතර පිටිපස්ස ශීට් එකේ විදින කෙනා ඉන්ජක්ෂන් එක තියලා ඉවරවෙලා තමයි මෙහෙම කළේ. එතකොට තමයි මම හැරිලා බලනකොට ඉන්ජෙක්ෂන් එක විදලා ඉවරයි දෙකක්ම වැදුනා. මිස් බය වෙන්න එපා මොකුත් වෙන්නේ නෑ මේ වෙනකොට පස් දෙනෙකුට විදිලා තියනවා මැඩම් කිව්වා එකම වෙලාවේ දෙකක් වැදිච්ච නිසා ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කියලා මිස් බය නැතුව ගෙදර යන්න කිව්වා. ගෙදර එනකොටත් මේ පැත්ත ඔක්කොම හිරි වැටිලා තිබුණේ සේරම සයිඩ් එකක් ම හිරි වැටිලා තිබ්බේ. ඉතිං මම බැලුවා දවස් තුනක් හතරක් බැලුවා සතියක් බැලුවා අත හිරිවැටෙනවා කකුල හිරි වැටෙනවා හිටගෙන ඉන්න බෑ හිරිවැටෙනවා මට නැගිටලා ඉන්න බෑ දවස් 4 ක් විතර එක දිගටම නිදියගෙන හිටියේ. අඩු තරමේ පොඩි දෙයක්වත් විනාඩි 5 ක් එක දිගට අල්ලගෙන ඉන්න බැහැ
මේ පිළිබඳව විමසීමට අප මහගරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක් උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමට දැක්වු ප්‍රතිචාරයයි මේ. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
හොරන් ඇවිල්ලා ගැහුවා වෙන්න බෑනේ. කවුරු හරි ඒ පුද්ගලයාම දෙවැනි වතාවටත් ඒ එන්නත ලබා ගැනීමක් වෙන්න ඕන. ඒක තොරතුරු ලැබුණොත් අපි විමර්ශනය කරලා එවැනි සිද්ධියක් වුණාද කියලා බලලා අපට තොරතුරු ලබා දෙන්න පුළුවන්
කෙසේවෙතත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ, සයිනෝෆාම් එන්නත එලෙස අධි මාත්‍රාවක් ශරිර ගතවීමෙන් ගැටලුවක් ඇතිවීමේ හැකියාවක් නොමැති බවය.