කාබනික පොහොර භාවිතයට ගත් පියවර පසුපසට ගන්නේ නැහැ

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට ගන්නේ නැහැ - ජනපති

by Staff writer 27-06-2021 | 8:40 PM

COLOMBO (News 1st) - නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අද හමුවීමෙන් අනතුරුවයි. එමෙන්ම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය. රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝනොවන රෝග රැසකින් පීඩා විඳිමින් සිටී. රසායනික පොහොර ආනයනය සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් මිලියන 400 කි. විදේශීය ආයතන වෙත ඇදි යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිතුමා මහා සංඝරත්නයට මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.