අලුත්වැඩියා කළ AN 32 යානා ත්‍රිත්වය යළි දිවයිනට

අලුත්වැඩියාවෙන් පසු AN 32 ගුවන් යානා ත්‍රිත්වය යළි ගුවන් හමුදා සේවයට (ඡායාරූප)

by Sagarika Chathumali 12-06-2021 | 6:54 PM

COLOMBO (NEWS1ST) :  අලුත්වැඩියා කරන ලද ඇන්ටනෝව් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා ත්‍රිත්වයක් යළි ගුවන් හමුදා සේවයට එක්කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවැසුවේ, අලුත්වැඩියා කටයුතු සඳහා යුක්‍රේනයට යවා තිබූ යුක්‍රේනයේ ම නිෂ්පාදිත එම ගුවන් යානා 3 අලුත්වැඩියා කටයුතු අවසන් කිරිමෙන් පසු ඊයේ (11) යළි දිවයිනට පැමිණි බවයි. යුක්‍රේනයේ සිට දිවයිනට පැමිණි එම යානා පිළිගැනීමේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 1995 වසරේදී ගුවන් හමුදාවට එක්වූ මේ වනවිටත් සක්‍රිය මට්ටමේ පවතින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලතම ප්‍රවාහන ගුවන් යානා ත්‍රිත්වය වන්නේ ද මෙම යානා බවයි. මානුෂීය මෙහෙයුම් සමයේදී තුවාල ලැබූ රණවිරුවන් , සිවිල් වැසියන් මෙන්ම  යුද බිමට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ද මෙම ගුවන් යානා යොදා ගෙන තිබේ. 2014 වසරේ අවසන් වරට ප්‍රවාහන කටයුතු සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දී ඇති මෙම ගුවන් යානා ත්‍රිත්වය යළි සක්‍රිය වීමත් සමග ගුවන් හමුදා ප්‍රවාහන බලය 75%කින් පමණ ඉහළ නැංවෙනු ඇති. මේ අතර ගුවන් හමුදාව පවසන්නේ, තවත් ඇන්නෝව් 32 වර්ගයේ ගුවන් යානයක් සහ C - 130 ගුවන් යානා 2ක් නැවත සක්‍රිය මටට්මට ගෙන ඒමේ මූලික කටයුතු ද මේ වනවිට අවසන් කර ඇති බවයි.