කොරෝනා මූලාරම්භය සිදු වූයේ ඉතාලියෙන් ද ?

කොරෝනා මූලාරම්භය සිදු වූයේ ඉතාලියෙන් ද ?

by Staff writer 02-06-2021 | 10:44 AM

News 1st - කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූයේ ඉතාලියෙන්දැයි සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත පරීක්ෂණ අරඹා ති⁣බේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ප්‍රභේදයක් 2019 වසරේ අග භාගයේදී ඉතාලියෙන් හඳුනාගෙන ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම මත ඉතාලි පර්යේෂකයින් විසින් 2019 වසරේ ඔක්තෝබර් වනවිට කොරෝනා වෛරසය චීනයෙන් පිටත සංසරණය වන්නට ඇතැයි සිදු කළ අධ්‍යයනයකින් ඒ බව හෙළිව තිබේ. කෙසේ නමුත් ඉතාලියේ පළමු කොරෝනා ආසාදිතයා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අනාවරණය වූ බව සඳහන් ය. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත පරීක්‍ෂණය සඳහා රොටර්ඩෑම්හි එරස්මුස් විශ්ව විද්‍යාලයේ රසායනාගාරය තෝරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කොරෝනා ආසාදිතයෙකු පළමුවරට හඳුනා ගත්තේ චීනයෙන් බව දැනට වාර්තා වේ. ඒ අනුව කොරෝනා වෛරසය මුල්වරට හඳුනා ගත්තේ චීනයයෙන් ද නැතිනම් වෙනත් රටකින් යන්න සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මකය. මිලියන 3 කට අධික ජනතාවක් මරණයට පත්කළ වසංගතයේ මූලාරම්භය පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා ජාත්‍යන්තර පීඩනය වැඩි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද පසුගිය සතියේ මෙහි මූලාරම්භය සෙවිය යුතු බව ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට පර්යේෂකයන් සැලසුම් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.