දිලීර රෝගය ආවේ ඉන්දියාවෙන් ද?

අම්පාරෙන් හමුවූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට එය වැළඳුණේ කෙසේද?

by Staff writer 23-05-2021 | 7:23 PM

COLOMBO (News 1st): අම්පාර ප්‍රදේශයෙන් වාර්තාක් වූ දිලීර ආසාදිත කොරෝනා රෝගියාට ආසාදනය වී ඇත්තේ, ඉන්දියාවේ ව්‍යාප්ත වන කළු දිලීරය නොවන බව, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

අම්පාරේ පදිංචි වයස අවුරුදු 35ක් වයසැති දිලීර ආසාදිත කොරෝනා රෝගියා අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ, පසුගිය මැයි මස 4 වනදායි. අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසුවේ, පසුගිය 14 වනදා ජීවිතක්ෂයට පත් වූ අදාළ රෝගියාට වැළඳී තිබුණේ, වෙනත් දිලීර ආසාදනයක් බවට සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවේදී හෙළි වූ බවයි. මෙම දිලීරය ආසාදනය වූ පිරිස් මීට පෙරත් මෙරටින් වාර්තා වී ඇති බවත් ඒ අනුව කිසිදු හේතුවක් මත මෙය ඉන්දියාවෙන් පැමිණි දිලීර රෝගයක් ලෙස කිසි විටක වාර්තා නොවන බව ත් රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
''මේ දිලීරය අපගේ රෝහලේ වුණත් වසරකට තුන්දෙනෙකුට හතරදෙනෙකුට ආසාදනය වෙලා එනවා .එහිදී අපි ප්‍රථිකාර කරනවා. ඒ නිසා අපි කිසිම හේතුවක් නිසා මේක ඉන්දියාවෙන් පැමිණි දිලීර රෝගයක් කියලා කිසි විටකවත් වාර්තා වෙන්නේ නෑ . මේක ලංකාවේ මේ වන විටත් බොහෝ රෝගීන්ට මේ තත්ත්වේ තියෙනවා ''
කෙසේ වෙතත් දැනට කොරෝනා ආසාදිතයින් ලෙස එම රෝහලෙන් හඳුනා ගන්නා වෙනත් කිසිදු  රෝගියෙකුට මෙවැනි දිලීර ආසාදනයක් වාර්තා වී නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''රොගීන් සෑහෙන ප්‍රමාණයක් හදුනා ගන්නවා රෝහලෙන්. නමුත් එම කිසිම රෝගීයෙකුට මේ ආකාරයේ දීලීර රෝගයක් වාර්තා වෙන්නෙ නෑ''
මේ දිලීර ආසාදනය ඇතිවන්නේ කොහොමද? අම්පාර මහා රෝහල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මහතාගේ පැහැදිලි කිරීම පහතින්..
''ප්‍රතිශක්තිකරණය අඩු වන රෝගී තත්ත්වයන්වලදී , ඒ කියන්නෙ ලාදුරු , ක්ෂයරෝගය වැනි ප්‍රතිශක්තීකරණය අඩු රෝගී තත්ත්වයන්වලදී ඇති වන රෝගී තත්ත්වයක් තමයි මේක. ඒක ලංකාවේ හැම තැනම තියෙන දෙයක්. නමුත් ඉන්දියාවේ යන එක වෙනස්ම ආකාරයේ කාණ්ඩයක්''
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි. පරික්ෂණ වල අවසන් ප්‍රතිඵල හෙට (24) දින ප්‍රකාශයට පත්කිරිමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.