ගමන් තහනමේදී ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය

සඳුදා දක්වා පැවැත්වෙන ගමන් තහනම් කාලය තුළ මහජනතාව ක්‍රියා කළ යුතු ආකාරය..

by Staff writer 14-05-2021 | 7:58 AM

COLOMBO (News 1st) - දිවයිනපුරා බලපැවැත්වෙන පරිදි ඊයේ(13) රාත්‍රී 11.00 සිට ලබන සඳුදා(17) අලුයම 4.00 දක්වා ගමන් තහනමක් ක්‍රියාත්මක වේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අනතුරුව සඳුදා සිට මැයි 31 වැනිදා දක්වා ද සෑම දිනකම රාත්‍රි 11.00 සිට අලුයම 4.00 දක්වා ගමන් තහනම ක්‍රියාත්මක බවයි. සංචරණ සීමා පනවා තිබුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කර්මාන්තය පවත්වාගෙන යාමට අවසර හිමි වේ. මේ අතර, සඳුදා අලුයම 4.00 දක්වා කාලය තුළ වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර හිමි නොවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සඳුදා අලුයම 4 දක්වා පොදු ප්‍රවාහන සේවා සඳහා ද අවසර හිමි නොවන බවයි. මේ අතර හුදකලා ප්‍රදේශවල ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පැවසුවේ, ඒ පිළිබඳ අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වන්නැයි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත දැනුම් දී ඇති බවයි. පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවන ප්‍රදේශවල ආරක්ෂාව සඳහා එලෙස ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අනියුක්ත කෙරෙන බව ද, අමාත්‍යාංශය සඳහන් කළේය.