සපුගස්කන්ද කොරෝනා පොකුර ගැන සොයන්න කමිටුවක්..

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්..

by Staff writer 22-03-2021 | 4:50 PM

COLOMBO (News 1st) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින්ට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ය. බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් කමිටුව ක්‍රියාත්මකයි. කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ය. බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී . ආර් ඔල්ගා මහත්මිය පැවසුවේ, සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වි ඇත්දැයි සොයා බැලීම කමිටුව මගින් කළ යුතු බවයි. අදාළ කමිටු වාර්තාව දින 10ක් තුළ අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු බව ද කමිටුවට උපදෙස් දී තිබේ. මේ අතර, සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු වාර්තා වන බව අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවාය. ඇය සඳහන් කළේ, පසුගිය 19 වනදා කළ PCFR පරීක්ෂණ 1,100 ක් අතුරින් අදාළ පිරිස හඳුනා ගෙන ඇති බවයි.