ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන WHO දැනුම්දීමක්...

ඇස්ට්‍රාසෙනෙකා COVID එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

by Sagarika Chathumali 16-03-2021 | 11:17 AM

COLOMBO (News 1st) : කොවිඩ් 19 මර්දනය සඳහා වන එන්නතකරණ වැඩසටහන නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලා සිටී. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීමත් සමග ලොව රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කිරිමත් සමගයි. එහි ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පවසන්නේ, මේ වනවිට ත්  වාර්තාවල අන්තර්ගතයන් විමර්ශනය කරමින් සිටින බව ත් එන්නත සහ රුධිර කැටි ගැසීම අතර සම්බන්ධයක් ඇති බවට මේ වන තෙක් තහවුරු වී නොමැති බවයි. මෙම සිදුවීම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ වර්තමාන නිර්දේශයන්හි කිසියම් වෙනස්කමක් සිදු වන්නේ, නම් ඒ පිළිබඳව වහාම ජනතාව දැනුවත් කරන බව ද ඔහු පවසා ඇත. මේ වන තෙක් එන්නත භාවිතය නුසුදුසු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් වෛරසයෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම වැදගත් බවත් ඔහු  වැඩිදුරටත් පවසා ඇත. ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂණ විශේෂඥයින් අද (16) දිනයේ රැස්වීමට නියමිතයි. මේ අතර එක්සත් ජනපද ඖෂධ නියාමන ආයතනය පවසන්නේ, එන්නත මගින් රැධිර කැටි ඇති බන බවට සාක්ෂි නොමැති බවයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව  සාකච්ඡා කිරීම සඳාහ යුරෝපීය ඖෂධ ඒජන්සිය ත් (EMA) අද (16) දිනයේ රැස්වන අතර එම ඒජන්සිය ලබන බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට නියමිතයි. කෙසේ වෙතත් එම ඒජන්සිය වැඩිදුරටත් පවසා ඇත්තේ, එන්නත දිගටම භාවිත කිරීමේ වරදක් නොමැති බවයි.  

රටවල් කිහිපයක්  එන්නත දීම අත්හිටුවයි... 

මේ අතර විමර්ශනවල ප්‍රතිඵල ලැබෙන තුරු පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය සහ තවත් රටවල් කිහිපයක් සිය එන්නත්කරණ වැඩසටහන  අත්හිටුවීමට තීරණය කර තිබේ. ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ,එරට එන්නත්කරණය පිළිබඳ අධිකාරීයේ නිර්දේශ මත ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටවුන බවයි. යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් නව උපදෙස් ලබා දෙන තෙක් සිය රට ද  එන්නත ලබා දීම  අත්හිටුවන බව පසුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද නිවේදනය කළේ ය. මේ අතර යුරෝපීය ඖෂධ ඒජන්සියේ තීරණය ලැබෙන තෙක් ඉතාලි ඖෂධ ඒජන්සිය ද සිය එන්නනත්කරණ  තවදුරටත් අත්හිටුවීමට තීරණය කළේ ය. ස්පාඤ්ඤය සෞඛ්‍ය අමාත්‍යවරයා පැවුසවේ, අවම වශයෙන් සති දෙකක කාලයක් සඳහා එරට එන්නත්කරණය අත්හිටුවන බවයි. නෙදර්ලන්තය මාර්තු 29 තෙක් එන්නත ලබා දීම අත්හිටුවීමට තීරණය කර තිබේ. මීට අමතරව අයර්ලන්තය, පෘතුගාලය, ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියාව, අයිස්ලන්තය සහ ස්ලොවේනියාව ද එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවා ඇති අතර කොංගෝ සහ ඉන්දුනීසියාව යන රටවල් එන්නත්කරණය ඇරඹීම කල් දමා ඇත.  

රටවල් රැසක එන්නත්කරණයේ වෙනසක් නැහැ 

කෙසේ වෙතත්, බෙල්ජියම, පෝලන්තය, චෙක් ජනරජය සහ යුක්රේනය පවසන්නේ, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත සිය ජනතාවට අඛණ්ඩව ලබා දෙන බවයි. කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවන වටපිටාවත් තුළ එන්නත්කරණ වැඩසටහනට බාධා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව බෙල්ජියම් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත. මේ අතර තායිලන්තය අද සිට සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. මේ අතර කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා ඇතුළුව සියලු එන්නත් ආරක්ෂිත බවට එරට සෞඛ්‍ය විශේෂඥයින් සහතික කර ඇති බවයි. ඇස්ට්‍රාසෙනකා ආයතනය පවසන්නේ, පසුගිය සතියේ යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මිලියන 17ක පමණ ජනතාවක් එන්නත ලබා ගෙන ඇති බවත් ඉන් අතුරු ආබාධ පිළිබඳ සිදුවීම් 40ක් පමණ වාර්තා වී ඇති බවත් ය.  

මෙරට එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව...

මෙරට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම අත්හිටුවිම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව පැවසුවේ, රුධිර කැටි ගැසීමේ සිද්ධි හේතුවෙන් ලොව රටවල් කිහිපයක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම තාවකාලිව අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි. ඇය පැවසුවේ, එන්නත සහ රුධිර කැටිගැසීම අතර සම්බන්ධයක් ඇති බවට තවමත් හහවුරු වී නොමැති බවයි. තව ද මෙරටදී ද කොරෝනා මර්දන එන්නත දීමෙන් පසු ඇති වූ අතුරු ආබාධ සියල්ල වාර්තා කර මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින බව ඇය  සඳහන් කළා ය. අමාත්‍යවරිය වැඩිදුටත් සඳහන් කර සිටියේ, එන්නත ලබා නොගෙන සිටීමෙන් කොරෝනා නිසා මියයෑමේ අවදානමක් ඇති බවයි.  

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රතිචාරය...

එන්නත ලබා දීමෙන් පසු සුළු  අතුරු ආබාධයන් ඇතිවුව ද එන්නත නිසා ජීවිත අවදානමක් හෝ හෝ රුධිර කැටි ගැසීමක් පිළිබඳ සාක්ෂි කිසිවක් නොමැති බව ඇස්ට්‍රාසෙනෙකා ආයතනය පවසයි. තව ද  ඇස්ට්‍රාසෙනෙකා ආයතනය පවසන්නේ, මෙම ප්‍රමාණය ස්වභාවිකව සිදුවනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බවයි.