O/L විභාග කාලයේ සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

O/L පැවැත්වෙන කාලය තුළ සිසු සැරිය බස් ධාවනය අනිවාර්යයි

by Staff writer 26-02-2021 | 3:50 PM

COLOMBO (News 1st) – සිසු සැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය(O/L Exam) පැවැත්වෙන කාල සීමාව තුළ ධාවනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිසන් සභාව එම සේවාවන් පවත්වාගෙන යන අයට දැනුම් දෙනු ලබයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මාර්තු මස 01 වැනි දින සිට 11 වැනි දින දක්වා සියලු දිනවල අනිවාර්යයෙන්ම ධාවනය කළ යුතු බවයි. සිසු සැරිය බස් රථ ගමන් කරන අවස්ථාවලදී කිසිදු පිටස්තර මගියෙකු බස් රථයට නංවා නොගත යුතු බව ද ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසයි. ඔහු සඳහන් කළේ, නොවැළැක්විය හැකි හේතුවක් මත සිසුවෙකුගේ දෙමව්පියන් දරුවා සමග පාසල වෙත ගමන් කිරීමට පැමිණියහොත් එවැනි අවස්ථාවක ඊට අවසර ලබාදිය හැකි බවයි. සෞඛ්‍ය උපදෙස් අනුව සිසුන් ප්‍රවාහනය කරන ලෙසට ජාතික ප්‍රවාහන කොමිසන් සභාව දන්වා සිටී. කොමිසන් සභාව සඳහන් කළේ, සිසුන් අඩු සංඛ්‍යාවක් ගමන් කළ ද සිසු සැරිය බස් රථවල ධාවනය අඛණ්ඩව සිදු කළ යුතු බව වැඩිදුරටත් දැන්වා සිටින බවය.