විදේශ ඇමති UNHRC සමුළුව අමතයි..

සහයෝගයෙන් කටයුතු කරලත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීම ගැන කණගාටුයි - විදේශ ඇමති

by Staff writer 23-02-2021 | 10:16 PM

COLOMBO (News 1st) - මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් කටයුතු කර තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කණ්ඩායම් වෙනත් රටකට විශේෂිත වූ යෝජනාවක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසිවාරය මීට ටික වේලාවකට පෙර අමතමින්ය. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචලේ බැචලෙට් මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සකස් කළ වාර්තාව හෙට(24) සාකච්ඡාවට ගැනීමට නියමිතය. එහිදී එක්සත් රාජධානිය ප්‍රමුඛ මධ්‍ය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එම මධ්‍යගත කණ්ඩායම නියෝජනය කරන සෙසු රටවල් වන්නේ කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ , උතුරු මැසිඩෝනියා සහ මලාවි යන රටවල් ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ විය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වුණේ අන්තර්ජාලය ඔස්සේයි.