by Staff writer 28-01-2021 | 11:35 AM
COLOMBO (News 1st) - උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සඳහා ආසන වෙන් කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
දෙනුවර මැණිකේ දුම්රියේ ගමන් කිරීමට කලින් ආසන වෙන්කළ මගීන්ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද සිට පෙබරවාරි 11 වැනි දා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය උදෑසන 6.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.