විනිසුරු වෙනස් කිරීම ගැන MTV සමාගම විරෝධය දක්වයි

MTV සමාගමට එරෙහි ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගමේ නඩුව: විනිසුරු වෙනස් කිරීම ගැන MTV සමාගම විරෝධය දක්වයි

by Staff writer 08-01-2021 | 8:03 PM

COLOMBO (News 1st) - MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ගොනු කළ නඩුව අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා වෙත මාරු කරන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීමට MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දැඩි විරෝධය පළ කර තිබේ.

ඒ, පාර්ශවකරුවන්ගේ සිතැඟියාව පරිදි විනිසුරුවරුන් තෝරාගත නොහැකි බව අවධාරණය කරමිනි. නඩුව දිසා විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද විභාගයට ගැණුනි. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ, පැමිණිලි පාර්ශවය විසින් ඊයේ මෝසමක් හා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත්කර ඇති බවයි. එය සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනි බැවින් එකී ලියවිල්ල නඩු ගොනුවෙන් ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා වෙත නඩුව මාරුකරන ලෙස ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේ, මුල් ඒකපාර්ශවික වාරණ නියෝගය ඔහු විසින් නිකුත් කරන ලද හේතුව මත හා පසුගිය මස 07 වැනි දා ඔහු විසින්ම වාරණ නියෝගය දීර්ඝ කිරීමේ පදනම මතයි. එම ඉල්ලීමට MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැඩි විරෝධය පළ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, පාර්ශවකරුවන්ට අවශ්‍ය පරිදි සිතැඟියාව අනුව ඔවුන්ගේ නඩු ඇසීමට අවශ්‍ය විනිසුරුවරුන් තෝරා ගැනීම ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් බවත් එමගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසෙන බවත් ය. ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ පසුගිය මස 07 වැනි දා නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව පසුගිය මස 18 වැනි දා කැඳවන ලෙස තවත් අතිරේක දිසා විනිසුරුවරියක් නියෝග කරමින් නඩුව අංක 01 අධිකරණයේදී අද විභාගයට ගන්නා ලෙසට විශේෂිත නියෝගයක් කරනු ලැබූ අතර ඊට පැමිණිලිකාර පාර්ශවය එම අවස්ථාවේ දී කිසිදු විරෝධයක් නොදැක්වූ බවයි. එබැවින් නිසි අධිකරණ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් දිසා විනිසුරුතුමා ඉදිරියේ නඩුව විභාගයට ගතයුතු බවත්, පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා සිටින පරිදි අතිරේක දිසා විනිසුරුවරයා වෙත නඩුව යොමු නොකරන ලෙසත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉල්ලා සිටියේ ය. දෙපාර්ශවයේ කරුණු දැක්වීමට සවන්දුන් අධිකරණය දැනුම් දුන්නේ කිසියම් පාර්ශවයක් යම් විනිසුරුවරයෙක් යම් නඩුවක් ඇසීම පිළිබඳව විරෝධතාව පළකරනු ලැබූ අවස්ථාවක එය නොතකා එම විනිසුරුවරයාම එම නඩුව අසනු ලැබුවහොත්, අදාළ විනිසුරුවරයා පක්ෂග්‍රාහී බවට නිගමනයකට එළඹිය හැකි බවයි. එකී හේතව මත පමණක් පිහිටා මෙම නඩුව අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා වෙත යොමු කරන බවට දිසා විනිසුරුවරයා පැවසීය. ඉන්පසු අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පැවසුවේ, මෙම නඩුව ඊට සුළු වේලාවකට පෙර අංක 01 අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩුව මෙම අධිකරණයේ විභාගයට ගන්නා ලෙසට ඉල්ලීමක් කළ බවයි. එම ඉල්ලීමට තමා තරයේ විරුද්ධ වූ බවත් එම විරෝධයම මෙම අධිරණයේදී ද දක්වන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අවධාරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පසුගිය මස 18 වැනි දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අංක 01 අධිකරණයේ නඩුව විභාගයට ගත යුතුයැයි දැනටමත් නියෝගයක් ලබාදී ඇති බැවින් මෙම අධිකරණයේදී නඩුව විභාගයට නොගත යුතු බවය. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු සුදුසු නියෝගයක් ප්‍රකාශයට පත්කිරීම ජනවාරි මස 13 වැනි දා දක්වා කල් තැබුණි. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නීතිඥ ජීවන්ත ජයතිලක, නිරන්ජන් අරුල්ප්‍රගාසම්, දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක්බරන්, මියුරු ඉගලහේවා යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් ජී.ජී අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් නඩුවට පෙනී සිටිනු ඇත. පැමිණිලිකාර පාර්ශවය සහා පැමිණිලිකාර ආයතනයේ සභාපති දිලිත් ජයවීර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහා නීතිඥ රුවන්ත කුරේ මහතායි. නීතිඥ රුවන්ත කුරේ මහතා ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරය භාර ගැනීමට පෙර ඔහුගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම කණිෂ්ඨ නීතිඥවරයා ලෙස කටයුතු කර තිබේ. මීට පෙර අවස්ථාවකදී ද දිලිත් ජයවීර මහතා කොළඹ දිසා අධිකරණයෙන් වෙනත් මාධ්‍ය ආයතනයකට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි. එම වාරණ නියෝගය ලබාගන්නා අවස්ථාවේදී දිලිත් ජයවීර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාමය.