තෙල් නල ව්‍යාපෘතියක් ජනපති නියෝගයෙන් නවතී..

රු. බිලියන 15ක මතභේදාත්මක තෙල් නල ව්‍යාපෘතියක් ජනපති නියෝගයෙන් නවතී..

by Staff writer 20-12-2020 | 9:21 PM

Colombo (News1st) - රුපියල් බිලියන පහළොවක් වැය කර රට හරහා ඉදිකිරීමට යන මතභේදාත්මක තෙල් නල මාර්ගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත නතර කර තිබේ.

බ්ලූමැන්ඩල් සිට කොළොන්නාව මෙම නල පද්ධතිය එලීමට යෝජිතව තිබුණි. නිලධාරීන් උපුටා දක්වමින් ද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබුණේ , මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිත බවයි. රට හරහා ඉදිවන මෙම තෙල් නල මාර්ගය 2013 - 14 කාල සීමාවේ යෝජනා වුවත් මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමත් සමග එය නතර විය. වර්තමාන රජය යටතේ නැවත වරක් මෙම ව්‍යාපෘතිය පණ ගැන්වීම සඳහා උත්සහ දැරූ අවස්ථාවේදී ඊට අදාළ කර්මාන්තකරුවන් මෙම තෙල් නල ව්‍යාපෘතිය හරහා විශාල මුදල් නාස්තියක් සිදු වන බව පෙන්වා දුන්නේ ය. දැනටමත් එල්.එන්.ජී. විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා පිඹුරුපත් සකසා තිබේ. මෙවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතිය නවතා දමා ඇති බවට the island පුවත්පත වාර්තා කර තිබේ.