උපරිමාධිකරණයේ ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? මහජන ආරක්ෂක ඇමතිගෙන් පිළිතුරු

by Staff writer 16-12-2020 | 8:07 PM

COLOMBO (News 1st) - කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමේන්තුවේ කණ්ඩායම් 3 ක් ඊයේ පත් කෙරුණි. එමෙන්ම පොලීසියේ විශේෂ කණ්ඩායම් කිපයක් ද අද පරීක්ෂණ ආරම්භ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය අද අලුත්කඩේ මහේස්ත්‍රත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. ඊයේ මෙම ගින්න හටගත්තේ ගොඩනැගිල්ලේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය රැස්කර තිබු ගබඩාවකයි. ගින්නෙන් එම ගබඩාවට හැර ලේඛනාගාරයට හෝ වෙනත් දේපොළකට හානි සිදුව තිබුනේ නැත. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙම ගින්න සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
''පුළුවන් තරම් ඉක්මණට ඒ ගින්න මර්දනනය කළා. ඉතිං ඒක සැබටාජ් එකක්ද නැත්නම් කඩාකප්පල් එකක්ද, හදිස්සියේ ඇති වෙච්ච දෙයක්ද කියන එක හෙට අනිද්දම බලනවා. ඒ විමර්ශනය දැනටමත් වෙනම විශේෂ කණ්ඩායම් දෙකක් යොදවලා එය සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යනවා''