ගෙවුණු දවසේ (26) කොළඹින් ආසාදිතයින් 253ක්

ගෙවුණු දවසේ (26) කොළඹින් ආසාදිතයින් 253ක්

by Sagarika Chathumali 27-11-2020 | 10:47 AM
COLOMBO (News 1st) : අද උදෑසන වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 559 දෙනා අතරින් වැඩිම පිරිස වූ ආසාදිතයින් 253 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවුසවේ, ආසාදිතයින් අතරින් 65 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද තවත් 35 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තාවී ඇති බවයි. මේ අතර ඊයේ වාර්තාවූ ආසාදිතයින් 559 දෙනා අතර විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් 5 දෙනෙක් සහ ග්‍රීසීයේ සිට මෙරටට පැමිණි මුහුදු ආරක්‍ෂකයෙක් ද වෙති. ඊයේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 6,113 දෙනෙකු පමණි. මේ වනවිට ආසාදිතයින් 15,816 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 99කි. අද උදෑසන වනවිට‌ ආසාදිතයින් 369 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 3 ක් වාර්තාවූ අතර එම මරණ වාර්තා වූයේ, පෑලියගොඩ, බම්බලපිටිය සහ කොළඹ - 8 ප්‍රදේශවලිනි. කොළඹ - 8 පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර මරණයට හේතුව ලෙස දැක්වුණේ, කොවිඩ් ආසාදනය සමග ඇති වූ බැක්ටීරියා ආසාදනයක් සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. අධිරුධිර පීඩනය, නිව්මෝනියාව සහ කොවිඩ් ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බම්බලපිටියේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයා මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් තිබිණ. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක ද අධික රුධිර පීඩනය , දියවැඩියාව සහ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වැනි දා කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර අද උදෑසන වන විට විදෙස්ගත ලාංකිකයින් 305 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ. මේ වනවිට පුද්ගලයින් 5,114 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 12,105 කි.