මහනුවර භූ කම්පනය:කමිටු වාර්තාව පරිසර ඇමතිට..

මහනුවර භූ කම්පනය පිළිබඳ වූ කමිටු වාර්තාව පරිසර ඇමතිට..

by Staff writer 24-11-2020 | 5:40 PM

COLOMBO (News 1st) - මහනුවර, මයිලපිටිය ඇතුළු ප්‍රදේශවල සිදු වූ භූ කම්පනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දී තිබේ.

ඒ, අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදීය. විද්වත් කමිටුව අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, ඒ පිළිබඳව අඛණ්ඩව විද්‍යාත්මක ගවේශන සිදු කළ යුතු බවයි. එම වාර්තාවට ප්‍රධාන නිර්දේශ 4 ක් ඇතුළත් ය. ඒ අනුව අදාළ ප්‍රදේශයේ සවිස්තරාත්මක භූ විද්‍යා සහ ව්‍යුහාත්මක සිතියමක් සම්පාදනය කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් වහාම යොමු කළ යුතුය. අඛණ්ඩ දිගු කාලීන අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කමිටුවේ තව ත් නිර්දේශයකි. අලුත්වත්ත ප්‍රදේශයේ ඩොලමයිට් පතල් කැණීම හා සම්බන්ධ ව්‍යුහාත්මක ඉරි තැලීම් අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව මීට පෙර ඉදිරිපත් කළ නිර්දේශ සැලකිල්ලට ගැනීම ද කළ යුතු වේ. කමිටු නිර්දේශවලට අනුව සිසුන් ඇතුළු ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින්ට සිදුවීම් වාර්තා කිරීම සඳහා දුරස්ථ පුහුණුවක් සහ ආකෘතියක් වහාම ලබාදිය යුතුය. මහනුවර භූ කම්පන සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විද්වත් කමිටුවේ ප්‍රධානී ලෙස ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය කටයුතු කළා ය. ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න, භූ විද්‍යාඥ මහසෙන් වික්‍රමරත්න, භූ කම්පන විද්‍යාඥයින් වන ජයනාත් හේරත්, උත්පලා රත්නායක සහ සචින්තා වීරනායක යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.