බෝගම්බර රැඳවියන්ගේ විරෝධතාව අවසන්

බෝගම්බර රැඳවියන්ගේ විරෝධතාව අවසන්

by Staff writer 12-11-2020 | 5:10 PM

COLOMBO (News 1st) : පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වහල මත නැග විරෝධතාවේ නිරත වූ රැඳවියෝ  අද පස්වරුවේ සිය විරෝධතාව අවසන් කළහ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ, නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ රැඳවියන් පිරිසක් බන්ධනාගාර කිහිපයක් වෙත යොමු කිරීමට පියවර ගත් බවයි. නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි රැඳවියන් පිරිසක් අද පෙරවරුවේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වහල මත නැගී විරෝධතාවක නිරත වූහ. ඒ , තමන්ට ද PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි. පසුව එම ස්ථානයට කැරලි මර්දන  නිලධාරීන් ද කැඳවීමට සිදු විය. බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, 800 ක පමණ පිරිසක් මෙම බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන්ගෙන් 36 දෙනෙකු කොරෝනා ආසාදිතව ඇතැයි තහවුරු වී ඇති බව ද අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ ය.