COLOMBO (News 1st) - MCC ගිවිසුම තම රජය යටතේ කිසිසේත් අත්සන් තබන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ, සතිඅන්ත පුවත්පකට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සතිඅන්ත, අරුණ පුවත්පතට මෙම ප්‍රකාශය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ඇතැම් පිරිස් ගැලරිය පිනවීම සඳහා බොරු අමෙරිකානු විරෝධයක් පෙන්වන බවයි.
සතිඅන්ත අරුණ පුවත්පතට අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස කියා සිටියේය.
"හීනෙකින්වත් MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගැලරිය පිනවන්න MCC ගිවිසුමක් අත්සන් කළොත් අරක කරනවා, මේක කරනවා කියලා සමහරු කතා කරනවා. ඒ කියන අය දන්නවා අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. ඒ නිසා බය නැතිව කියනවා MCC ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වාගේ කතා. මේවා ගැලරිය පිනවන්න කියන කතා. අමෙරිකානු රාජ්‍ය දූත පිරිස් ලංකාවට ආවහම මුලින්ම කතා කරන්නේ මානව හිමිකම් කඩවීම් වගේ කාරණා ගැන. නමුත් මෙවර අපියි, මානව හිමිකම් ගැන කාරණය ඇමරිකාවට මතක් කළේ. පරණ දේවල් අමතක කරල ආණ්ඩුව සමග සුහදව කටයුතු කරන්න ලේකම්වරයා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. චීනයට හෝ වෙනත් කුමන රටකටවත් අපි යටත් නැති ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නා ප්‍රතිපත්තියක ඉන්නා බව අපි පෙන්වා දුන්නා. අපි අපේ රට වෙනත් කිසිම රටකට එරෙහිව පාවිච්චි කරන්න, වෙනත් රටවල ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට යොදාගන්න ඉඩ තියන්නේ නැති බවත් කීව්වා. ඉන්දියාව අපේ සාම්ප්‍රදායික නෑයා. චීනය අපේ හිතවතා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයකට අපේ රට යොදා ගන්න ඉඩ දෙන්නේ නැති බවත්, මට කියන්න වුණා"