කොරෝනා ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 3360 දක්වා ඉහළට

by Staff writer 28-09-2020 | 2:26 PM

COLOMBO ( News 1st ) :  මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, චෙන්නායි සිට පැමිණි ඉන්දිය ජාතිකයින් 6 දෙනෙකු, ලාංකිකයින් දෙදෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු එලෙස හඳුනාගත් ආසාදිතයින් වන බවයි. ඒ අනුව මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 3360 දෙනෙකු වාර්තා වී ඇති අතර 3208 දෙනෙකු සුවය ලබා තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 139 කි. කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්‍ෂණ 282,197 ක් සිදු කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනය තුළ පමණක් PCR පරීක්‍ෂණ 1410 ක් සිදු කර ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 650 ක් වේ. මේ අතර කොරෝනා හේතුවෙන් විදේශයන්හී සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 88 අද දිවයිනට පැමිණියේ ය. එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එසේම අද දිනයේදී යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 606 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත විය. මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 45,636 කි. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77 ක් තුළ පුද්ගලයින් 7484 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2 කි.