21 ප්‍රහාරය ගැන ලබාදුන් තොරතුරු ප්‍රමාණවත් නැහැ

21 ප්‍රහාරය ගැන ලබාදුන් තොරතුරු ප්‍රමාණවත් නැතැයි හිටපු ආරක්ෂක ලේකම් කියයි

by Staff writer 21-09-2020 | 9:03 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු අනතුරු ඇඟවීම්වල බරපතළ බව එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා විසින් අවධාරණයෙන් දැනුම් දිය යුතුව තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද යළිත් සාක්ෂි දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. විදේශීය බුද්ධි අංශ අනතුරු ඇඟවීම් හරහා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබූ බවටත් ප්‍රහාරයක් එල්ලවන බවටත් නිශ්චිතවම සඳහනක් කර නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ, මෙම අනතුරු ඇඟවීම්වල බරපතළකම පිළිබඳව සොයා බලා නිශ්චිත තොරතුරු වාර්තා නොකර අනතුරු ඇඟවීමක් ඇති බව පමණක් සඳහන් කිරීම එවක රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිදු කළ වරදක් බවයි. නිවැරදි පියවර ගැනීම සඳහා බුද්ධි අංශ ප්‍රධානියා එහි බරපතළකම පිළිබඳව දැනුම්දිය යුතුව තිබූ බව ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය. ඔහු අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි පැවසෙන තොරතුරු තම කාල සීමාවේ දේශීය බුද්ධි අංශවලින් ද නොලැබුණු බවයි. මාවනැල්ල බුදුපිලිම කඩාදැමීම, වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ කාත්තන්කුඩි යතුරු පැදියක පිපිරීම අතර සම්බන්ධතාවක් තමන්ට නිරීක්ෂණය නොවූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ, මේ සිද්ධීන්වලින් දේශීයව පුපුරණද්‍රව්‍ය නිපදවීමට හැකියාව ඇති බවට තමන් පිළිගන්නා බවයි. එය රටටම අනතුරුදායක තත්ත්වයක් බව ද හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේ ය.. අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගත් සහරාන් හෂීම් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කිසිදු තීරණයක් නොගත් බව පැවසූ ඔහු කියා සිටියේ, එම රැස්වීම්වලදී විදේශීය අනතුරු ඇඟවීම් සාකච්ඡා කිරීමට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මැලිකමක් දැක් වූ බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය චෝදනා එල්ල කළ බවට සිදු කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කියා සිටියේ ය. ඊයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, එම නිවේදනය හරහා තම සේවාදායකයා බියට පත්ව ඇති බවයි. කොමිසමේදී සාක්ෂිකරුවෙකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් ලබා නොගෙන නිවේදන හරහා චෝදනා ප්‍රතික්ෂේප කිරීම කොමිසමේ අධිකාරිය නොතකා කටයුතු කිරීමක් බව නීතිඥවරයා පැවසුවේ ය. නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කොමිසමට කැඳවා අධිකරණයට අපහාසයක් නොකළ බවට පැහැදිලි කිරීමට හේතු විමසන්නැයි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඉල්ලීමක් කළේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චරිත ගුනරත්න මහතා කියා සිටියේ, එම නිවේදනය පිළිබඳව තමන් දැනුවත්ව නොමැති බවයි. තම සේවාදායකයා විසින් ඒ බව තමන්ට දැනුම්දී නොමැති බව ද ඔහු පැවසුවේ ය. හෙට දිනයේදී කොමිසම හමුවේ කරුණු දක්වන්නැයි හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරයාට කොමිසම නියෝග කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/619982435302360/