හේන් වගාවට වනජීවී ඉඩම් දීමේ බලය යළි දිසාපතිවරුන්ට?

හේන් වගාවට වනජීවී ඉඩම් දීමේ බලය යළි දිසාපතිවරුන්ට?: කැබිනට් පත්‍රිකාව හෙට..

by Staff writer 08-09-2020 | 8:13 PM

COLOMBO (News 1st):  වනජීවී හා වන සංරක්ෂණ ඉඩම්වල දිසාපතිවරයාගේ අනුමැතියෙන් හේන් වගා කිරීමට අදාළ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මම හෙට දවසේ කැබිනට් පේපර් එකක් යවනවා වන සම්පත් එකට අයිති හේන් වගා කරනවා නම්, ඒක දිසාපතිතුමාගේ නිර්දේශය මත ඒ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්ද කියන එක තීන්දු කරන්න කියන එක. දිසාපතිතුමන්ලා මේ කාර්යභාරය හොදින් කරන නිසා මේ සඳහා හෙට දවසේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අවශේෂ කැළෑ ඉඩම් වගාකිරීම ඇතුළු කටයුතුවලට ලබාදීමට දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට තිබූ බලතල චක්‍රලේඛ දෙකකින් සීමාකර තිබේ. මේ චක්‍රලේඛ දෙක මගින් සිදුවූයේ හිතුමතේ තනි පුද්ගලයෙකුගේ තීරණ මත මේ වටිනා ඉඩම් ලබාදීම නවතා කමිටුවක් මගින් නිසි පරිදි ඇගයීමකින් පසුව තීරණ ගැනීමට බලය ලබාදීමයි. ඒවා අහෝසි කර යළිත් දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය දිය යුතු බවට මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් විය. එය ක්‍රියාත්මකවීම වැළැක්වුණේ ඊට එල්ලවූ දැඩි විරෝධය නිසයි. සී.බී රත්නායක අමාත්‍යවරයා අද අනාවරණය කරන මේ කැබිනට් පත්‍රිකාවෙන් යළිත් ඉදිරිපත් වන්නේ එම යෝජනාවද?