by Staff writer 04-09-2020 | 5:06 PM
COLOMBO (News 1st) : රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට අවසර ලබාදෙන්නේ ද, නැද්ද යන නියෝගය ලබන සඳුදා ලබාදෙන බව අභියාචනාධිකරණය අද පස්වරුවේ නිවේදනය කළේ ය.
ඒ ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මූලික සලකා බැලීම අවසන් කරමිනි.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තමා පාර්ලිමේන්තු සැසිවාර සදහා රැගෙන යාමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසයි.
අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනාවලට රත්නපුර මහාධිකරණය විසින් පසුගිය ජුලි 31 වැනිදා ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණීය දණ්ඩනය නියම කළේ ය.
ජයසේකර මහතා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම වෙනුවෙන් අද කරුණු දැක්වුයේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.
අදාළ මරණ දඬුවම් නියෝගයට එරෙහිව සිය සේවා දායකයා මේ වනවිට අභියාචනාධිකරණයට අභියාචනාවක් මෙන්ම ඇප අයදුම්පතක් ද ගොනු කර ඇති බව ඔහු පැවසී ය.
එබැවින් ඔහු මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවෙකු නොව රක්ෂිත බන්ධණාගාරගත සිරකරුවෙකුගේ තත්ත්වයට ඔහු පත්ව ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ, එම නීතිමය තත්ත්වය මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ද ඔහුට පාර්ලිමේන්තුවේ සැසිවාර සඳහා යාමට අවසරය හිමිව ඇති බවයි.
ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙසට කතානායකවරයා විසින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තු මහලේකම්වරයා මගින් බන්ධනාගාර බලධාරින්ට දන්වා ඇතැයි ද රොමේෂ් ද ද සිල්වා මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයෙකුට කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ වරප්‍රසාදය හිමිව ඇති බවයි.
එබැවින් ඔහුව පාර්ලිමේන්තු රැගෙන යන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා පැවසුවේ, එම ඉල්ලීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ එකක් බවයි.
මරණීය දණ්ඩනය නියම වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තේරි පත් වු පමණින් ඔහුට පාර්ලමේන්තුවේ අසුන් ගැනීමේ වරප්‍රසාදය හිමි නොවන බවද නෙරිල් පුල්ලේ මහතා අවධාරණය කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ පෙත්සම්කරු අභියාචනාධිකරණයට ,අභියාචනායක් ඉදිරිපත් කළ පසු එල්ලා මැරීමේ ක්‍රියාවලිය පමණක් තාවකාලිකව අත්හිටුවෙන බවයි.
නමුත් මහාධිකරණය නියම කළ මරණිය දණ්ඩන නියෝගය අහෝසි නොවන බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, ඔහු රිමාන්ඩ් සැකකරුවෙකු ලෙස සැලකීමේ හැකියාවක් නොමැති බවයි.