හෙට උදේ 7ට ඡන්දය අරඹන්න සියල්ල සූදානම්

හෙට උදේ 7ට ඡන්දය අරඹන්න සියල්ල සූදානම්

by Staff writer 04-08-2020 | 8:50 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම හෙට පැවැත්වේ. උදෑසන 7.00 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති. දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී ඡන්ද විමසීම පැවැත්වේ. එහිදී කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ඇති. මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 ක්. මෙවර ඡන්දය භාවිතා කිරිම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහක්. වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1785, 964 කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17 09,209 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,3 48, 787 දෙනෙකු මෙවර මහ මැතිවරණය සඳහා සුදුකම් ලබා සිටී. අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යව දෙලක්ෂ 87, 024කි. පිළිගත් දේශපාලන පක්ෂ 40 ක් මෙවර මහ මැතිවරණයට තරග කරයි. මැතිවරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 312 කි. රටපුරා ආවරණයවන පරිදි මෙවරත් මැතිවරණයට අදාළ සියලු තොරතුරු වාර්තා කිරීමට නිව්ස් ෆස්ට් සූදානම්... මේ අතර මෙවර ඡන්ද විමසීම සිදු වන්නේ මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීතිවලට අනුකූලවයි. ඒ අනුව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඡන්දපොළ කටයුතු සිදු වේ. ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද දායකයින් මීටරයක පරතරය තබා ගත යුතුයි. ඡන්ද පොළට ඇතුළු වීමට පෙර විශබීජ නාශක දියර මගින් දෑත් පිරිසිදු කිරීම සිදු වේ. මැතිවරණ නිලධාරීන් ඉදිරියේ ඡන්ද දායකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුව ආවරණය ඉවත් කළ යුතු අතර අනතුරුව නැවතත් දෑත් පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. ඡන්දය සටහන් කිරීම සඳහා කළු හෝ නිල් පෑනක් රැගෙන ඡන්ද පොළට යාම සුදුසු වන නමුත් පෑනක් නොමැති නම් විෂබීජහරණය කරන ලද පෑනක් ඡන්ද දායකයින් වෙත ලබා දීමට ඡන්දපොළ නියෝජිතයින් කටයුතු කර තිබේ. ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන්නේ, කාබන් තැවරූ කඩදාසි කොටසක් මගිනි. අවශ්‍ය නම් ටිෂූ කඩදාසියක් මේසය මත තබා වුවද එය සිදු කිරීමට අවස්ථාව සකසා තිබේ. ඡන්දය භාවිත කරන කුටියත් විශේෂිත ආකාරයකින් නිර්මාණය කර ඇති අතර එය ද විටින් විට විෂබීජ හරණය කිරීමට ඡන්දපොළ නියෝජිතයින් කටයුතු කරයි. ඡන්ද පොළෙන් බැහැරව යන විට ද දෑත් පිරිසිදු කළ යුතුයි. https://www.facebook.com/NewsfirstSL/videos/859269794598480/