අංගොඩ ලොක්කාගේ මරණය ගැන සෙවීමට කණ්ඩායම් 7ක්

කොයිම්බතූර්වලදී මිය ගිය අංගොඩ ලොක්කා ගැන සෙවීමට කණ්ඩායම් 7ක්

by Staff writer 04-08-2020 | 7:19 PM
COLOMBO (News 1st) : ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියායාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොයිබර්තුර් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායම් 7 ක් පත්කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අංගොඩ ලොක්කා නමැත්තා වසර 2 කට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිට තිබුණේ ප්‍රදීප් සිං යන භාවිත කරමිනි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ වාර්තා කළේ, කොයිම්බතුර් පොලීසිය විසින් අංගොඩ ලොක්කාගේ මරණයට අදාළ ඉදිරි පරීක්ෂණ කොයිම්බතූර් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි. අංගොඩ ලොක්කාගේ මරණය පසුපස ජාත්‍යන්තර ජාලයක සම්බන්ධයක් පවතී ද යන්න සොයා බැලීම සීමිත පරීක්ෂණවලින් අනාවරණය කරගත නොහැකි බව කොයිම්බතූර් පොලිසියේ අදහසවී තිබේ. ඒ අනුව ඕ.එච්. රාජු නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා අදාළ පරීක්ෂණය භාර නිලධාරියා ලෙස පත්කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද වාර්තා කළේ ය. ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා පිළිබඳව ද හින්දු , ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් මෙන්ම තමිල්නාඩු පුවත් පත් කිහිපයක්ම ඊයේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඔහු ඉන්දියාවේදී මියගොස් ඇති බවයි. අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං නමට ආධාර් කාඩ් ලෙස හඳුන්වන හැඳුනුම්පතක් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ඔහුගේ සිරුර අදාහනය කිරීම යන චෝදනා මත පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොයිම්බතුර් පොලීසිය ඊයේ තහවුරු කළේ ය. ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබුණේ 27 හැවිරිදි අමානි තාන්ජි, නීතිඥවරියක වන 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ එස් ත්‍යාගේෂ්වරන් නමැති තිදෙනෙකි. මේ අතර පොලීසිය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරිණ.