UPDATE :රෝහලෙන් පැන කොරෝනා රෝගියා සොයා ගැනේ

UPDATE : රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා සොයා ගැනේ

by Staff writer 24-07-2020 | 6:00 PM

COLOMBO (News 1st) - අද අලුයම මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රෝගියා යළි සොයා ගැනුණි.

ඒ, ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි. පොලීසිය ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට IDH රෝහල් කාර්ය මණ්ඩලය තහවුරු කළ බවය. එල්සියාම් නසීම් නැමැති එම පුද්ගලයා 41 වියෙහි පසුවන ත්‍රිකුණාමලය, වල්ලිමලර් පදිංචි මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව සඳහන් වේ. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව IDH රෝහලට යොමු කර තිබුණි. සැකකරු IDH රෝහලෙන් පළා ගොස් ඇත්තේ අද අලුයම 2.00 කට පමණ බව මේ වනවිට අනාවරණ වී තිබේ. වාට්ටු සංකීර්ණයේ ජනේලයෙකින් පිටතට පැමිණි පුද්ගලයා පසුව IDH රෝහලේ තාප්පයකින් පැන පළා ගොස් ඇතැයි පොලීසිය පැවසීය. අදාළ රෝගියා කොළඹ කොටුවෙන් ත්‍රිරෝද රථයක නැගී කොළඹ ජාතික රෝහල අසළට පැමිණ සිටියේ ය. මේ අවස්ථාවේ කොළඹ ජාතික රෝහල අසළට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණියේ ය. ත්‍රිරෝද රථ රියැදුරා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණි. කොළඹ ජාතික රෝහලේ සේවකයින් දෙදෙනෙකු අදාළ පුද්ගලයා හඳුනාගෙන ලබාදුන් තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් රෝගියා සොයා ගෙන තිබේ. වහාම ක්‍රීයාත්මක වූ සෞඛ්‍ය අංශ නිලධාරීන් අදාළ රෝගියා ආරක්ෂිතව නැවතත් IDH රෝහලට රැගෙන ගියේ ය. කොළඹ ජාතික රෝහල අසල අදාළ රෝගියා රැඳී සිටි ප්‍රදේශය ද විෂබීජහරණයට ලක් කර තිබේ. ================================================================================ COLOMBO (News 1st) 10.40 AM : IDH රෝහලෙන් පළාගිය කොරෝනා ආසාදිතයා බවට සැකකෙරෙන පුද්ගලයා සොයාගෙන තිබේ. ඒ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ මෙහෙයුමකිනි. https://www.facebook.com/NewsfirstSL/videos/618383412126162/ --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා සෙවීමට පොලීසිය මහජන සහය පතයි

COLOMBO (News 1st) : මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු අද අලුයම රෝහලෙන් පැනගොස් තිබේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, 41 වැනි වියේ පසුවන එල්සියාම් නසීම් නමැති එම සැකකරු ත්‍රිකුණාමලය, වල්ලිමලර් ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බවයි. මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිවූවෙකු වන මොහු අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බව ද සඳහන් ය. සැකකරුගේ වම් පාදයේ අබාධයක් ඇති බැවින් ඇවිදින විට අපහසුතා සහිත තැනැත්තෙකි. පොලීසිය මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහය පතන අතර ඔහු පිළිබඳ යම් තොරතුරුක් වෙතොත් 119 071 859 10 17 071 859 22 90 හෝ 071 859 18 64 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/322387078933866/