by Staff writer 24-07-2020 | 4:33 PM
COLOMBO (News 1st) - සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නඩුව ලබන දෙසැම්බර් 4 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කර තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි.
වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය එම නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය හමුවේ පවතින එම අභියාචනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් නඩුව කල්තැබීම වඩාත් සුදුසු බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ ය.
ඒ අනුව නඩුව දෙසැම්බර් 4 වැනි දා දක්වා කල් තැබුණි.