රාජිත, පාඨලී , ශානි, හා නීතිඥ ජනකට නොතීසි

රාජිත, පාඨලී , ශානි අබේසේකර හා නීතිඥ ජනක බණ්ඩාරට නොතීසි

by Staff writer 20-07-2020 | 2:16 PM

Colombo (Newsfirst) : හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරුන්ට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම අද නොතීසි නිකුත් කර තිබේ.

ඒ, රක්නා ලංකා ආරක්ෂණ සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා කොමිසමට කර ඇති පැමිණිල්ලකට අදාළවයි. ඇවන්ගාඩ් විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටින වික්ටර් සමරවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන කොමිසමට පැමිණිලි කර ඇත්තේ දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා මෙම සිද්ධියට තමන් සම්බන්ධ කළ බවය. 2015 ඔක්තෝම්බර් 20 වැනි දා ඇවන්ගාඩ් සහ රක්නා ලංකා සමාගම් එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ගිවිසුමකට එළැඹ සිටි බව වික්ටර් සමරවීර මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය. සමරවීර මහතා සඳහන් කළේ, මෙම ගිවිසුම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූ බවයි. එම රැස්වීමේදී රක්නා ලංකා සමාගමේ කටයුතු නාවික හමුදාව යටතට පවරාදීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යම මහත්වරුන් දිගින් දිගටම කරුණු දැක් වූ බව පැමිණිලිකරු අද කොමිසම හමුවේ කියා සිටියේ ය. අදාළ ගිවිසුම අනුව එය නීත්‍යානුකූල නොවන බව වික්ටර් සමරවීර මහතා එහිදී පෙන්වාදී තිබේ. මේ ගිවිසුම අත්සන් කිරීමට උපදෙස් දුන්නේ කවුරුන්දැයි එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා විමසූ බවත් එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එය සිදුකළ බවත් පැමිණිලිකරු කියා සිටියේ ය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ශානි අබේසේකර ඇතුළු පාර්ශවකරුන් වගඋත්තරකරුවන් ලෙස නම්කර නොතීසි නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරීන් හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියේ ය. නමුත් ජනාධිපති කොමිසම කියා සිටියේ, මේ දක්වා ඉදිරිපත්ව ඇති කරුණු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාටත් විවිධ බලපෑම් එල්ලවී තිබූ බව පෙනීගොස් ඇති බවයි. එම නිසා ඔහු කොමිසම හමුවේ වගඋත්තරකරුවෙකු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කොමිසම කියා සිටියේ ය. ජුලි 28 වැනි දා මේ පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය සිදුකිරීමට නියමිතයි.