දේශීය සිනමාව වෙනුවෙන් මෙවර අයවැයෙන් සහන

දේශීය සිනමාව වෙනුවෙන් මෙවර අයවැයෙන් සහන - අගමැති

by Staff writer 27-06-2020 | 10:32 PM

COLOMBO (News 1st) :  දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අයවැයෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබේ.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ. චිත්‍රපට බෙදා හැරීම ඇතුළු සිනමා කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රමාත්‍යවරයාගේ අවදානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පසුගිය රජය සමයේ සිනමා ක්ෂේත්‍රයට අහිමි කළ බදු සහන නැවත ලබා දෙන ලෙස ද සිනමා කර්මාන්තයේ නිරත පිරිස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. සිනමා ශාලාවන්හි විදුලි බිල් වෙළෙඳ ගණනය කිරීම යටතේ ගණනය කිරීම වෙනුවට කර්මාන්ත ගණනය කිරීම යටතේ ගණණය කිරීම සඳහා පියවර ගන්නා ලෙස මෙහිදී සිනමා ශාලා හිමියන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර විසදුමකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිචන්ද්‍ර මහතාට උපදෙස් ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපි බජට් එකක් තියනවා මේ එන බජට් එකකට දෙන්න පුලුවන් සහන දාලා දෙන්න පුලුවන් සහන මොනවද කියලා තීන්දු කරන්න මේ දැන් තියන ආර්ථික තත්ත්වය යටතේ සළකලා බලලා අපිට දෙන්න පුලුවන් සහන අපි දෙන්නම්. වැඩේ තියෙන්නේ ඒ සහන ප්‍රයෝජන ගන්න ඕන. සහන දුන්නට වැඩක් නෑ ප්‍රයෝජන ගන්නේ නැත්නම්. මේ අතර දරුණු වසංගත තත්ත්වයක් හමුවේ වූවද ගෝලීය ප්‍රජාව වශයෙන් අප සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන්ට ප්‍රතිලාභ සැලසීමට ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 33 වැනි සැසි වාරය අන්තර්ජාලය ඔස්සේ අමතමින් අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. කොරෝනා වසංගතයෙන් පසු ආර්ථිකය ගොඩ නැගීමේ මෙහෙවර අප රටේ වෘත්තිකයන් විසින් ඉටු කරමින් සිටින බවත් රටේ ආරථිකය සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්ය භාර්යක් වෘත්තිකයන්ට පැවරෙන බවත් මෙහිදී අගමැතිවරයා පෙන්වා දී තිබේ. වසර 2ක් වැනි කාල සීමාවක් සඳහා සියළුම සංවර්ධනය වෙමින් පවතින රටවලින් ණය මුදල් අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර අරමුදල හා ලෝක බැංකුව කටයුතු කිරීම තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට හා පීඩිත ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත් කර දීමට හැකි වන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.