වරායේ නැගෙනහිර පර්යන්තයට එරෙහි අදිසි හස්තයක්...?

වරාය අධිකාරිය ගෙනා දොඹකර සවිකිරීමට ඉඩ නොදෙන බලවතා කවුද?

by Staff writer 23-06-2020 | 8:46 PM
COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා සිදු කිරීමට එරෙහිව අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට වරාය වෘත්තීය සමිති චෝදනා කරයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ජැටිය හා මූලික ඉදිකිරීම් වරාය අධිකාරිය දැනටමත් සිදුකර අවසන් වී තිබේ. ඒ රාජ්‍ය බැංකුවකින් ලබාගත් ඩොලර් මිලියන 80 ක මුදලක් වැය කරමිනි. නමුත් පසුගිය රජය සමයේ යෝජනා කළේ, නැගෙනහිර පර්යන්තය ජපාන, ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. නමුත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාවකින් පර්යනත්යට අවශ්‍ය දොඹකර ඇතුළු මූලික උපකරණ මිලදී ගැනීමට පියවර ගෙන තිබිණ. පසුගිය සෙනසුරාදා ගැන්ට්‍රි දොඹකර තුනක් රැගෙන නෞකාවක් කොළඹට ළඟා වූයේ එම පසුබිම තුළයි. මෙම දොඹකරවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25.7කි. මේ ගැන්ට්‍රි දොඹකර 3, නැගෙනහිර පර්යන්තයේ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරාය - වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් පවසන්නේ දොඹකර ගොඩබෑම අදිසි හස්තයක ක්‍රියාත්මක වීමෙන් නතරවී ඇති බවයි. වෘත්තීය සමිති අදත් මේ සම්බන්ධයෙන් අදත් වරාය තුළ විරෝධය පළ කර තිබිණ. ශ්‍රී ලංකා වරාය අධිකාරියයේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා පසුගියදා නිවුස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක් වෙමින් නැගෙනහිර පර්යන්තය පිළිබදව අදහස් පළ කළේ ය. ඒකට්ටිය සම්බන්ධ නොවී අපි පමණක් එකතුවෙලා තමයි මේ ක්‍රියාන්විත තත්ත්වය කරන්නේ. අපේ වරාය අධිකාරියෙන්. ක්‍රෙන්ස් ගේන්නෙත් අපි මයි.ආණ්ඩුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. අපි ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා ඉදිරියට කොහොමද කරන්නෙ කියලා. මෙතින් එහාට සිද්ධවෙන දේ ගැන අවසන් තීරණයකට එළැඹිලා නෑ තාම. අපි සාකච්ඡා කරලා ඉක්මණින්ම මේ ප්‍රශ්නය විසදගන්නවා අපිට වාසි දායක වන විදියට. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටවලට ලබා නොදී වරාය අධිකාරිය හරහා සංවර්ධනය කිරීමට රජය, වරාය අධිකාරිය තීරණය කර ඇති මොහොතක, ඊට එරෙහිවන අදිසි බලවේගය කුමක්ද ? මතුව ඇති තත්ත්වය විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කිරීමට අද පස්වරුවේ වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කුරුණෑගලට ගොස් තිබේ. අප කළ විමසීමකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් හෙට පිළිතුරක් ලබා දිය හැකි බවයි.