ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID මරණ ඉන්දියාවෙන්

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි..

by Staff writer 17-06-2020 | 8:10 AM

News 1st - ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය.

ඒ, ආසාදිතයන් 2006 කට ජීවිත අහිමිවීමත් සමගය. ඉකුත් පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ COVID-19 ආසාදිතයන් 11,135ක් වාර්තා විණි. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකය. ඊයේ දිනයේදී ආසාදිතයන් 2006 ක් මරණට පත්වීමත් සමග ඉන්දියාවේ COVID-19 මරණ සංඛ්‍යාව 12,000 කට ආසන්න වී තිබේ. මේ අතර එක්දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ COVID-19 මරණ සංඛ්‍යාව දෙදෙහස ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. කෙසේ නමුත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසන්නේ සති 8 කට අධික කාලයක් රට වසා නොදැමූයේ නම් එරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව පවතින තත්ත්වයට වඩා ඉහළ අගයක් ගනු ඇති බවයි. මේ වනවිට ඉන්දියාවේ ඇතැම් සීමා ලිහිල් කර තිබේ. ඉන්දියාවෙන් ලැබෙන වාර්තා පවසන්නේ, මේ වනවිට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින බවය. චීනයේ COVID-19 ආසාදිතයන් 40 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තාවීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,221ක් ලෙස දැක්වෙයි. COVID-19 නිසා එරට මිය ගිය පිරිස 4600 කට අධිකය. මේ අතර බ්‍රසීලයේ COVID-19 ආසාදිතයන් 1338 දෙනෙකුට ඉකුත් පැය 24 තුළ ජීවිත අහිමි විය. ඊයේ දිනයේ ලොව වැඩිම COVID-19 ආසාදිතයන් පිරිස වාර්තා වූයේ ද බ්‍රසීලයෙන් ය. එම ගණන 37242 කි. එරට ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 9 ඉක්මවා ඇති අතර මිය ගිය සංඛ්‍යාව හතලිස් පන් දහස අබිබවා ඇත. තවදුරටත් ලොව වැඩිම COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තාවන අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ ඉන් මරණයට පත්ව ඇති පිරිස 829 කි. ලක්ෂ 22කට අධික ආසාදිතයන් පිරිසක් වාර්තා වන එරට මිය ගිය සංඛ්‍යාව එක් ලක්ෂ දහ නව දහසකට අධිකයි. ලොව පුරා COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ අසූ දෙක ඉක්මවා තිබේ. 445,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ හතලිස් දෙකකට අධිකයි.