අධිකරණයෙන් CIDයට නියෝගයක්

මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කරන්නැයි, නියෝග

by Staff writer 17-06-2020 | 6:34 PM
COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුණ මහේන්ද්‍රන් මහතාට සහ 9 වන සැකකාර අජාන් ගාර්දිය පුංචිහේවා මහතාට තම අධිකරණය පසුගිය මාර්තු 6 වැනිදා නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. ඒ මහබැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී පොදු දේපළක් වන රුපියල් බිලියන 51. 98 ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහණය ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළවයි. එම පැමිණිල්ලේ 8 වන සැකකරු ලෙස නම් කර තිබූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගෙම් හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් නමැත්තාව ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. 2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල පවත්වන ලද මහ බැංකු බැඳුම්කර දෙකකදී එලෙස රජයේ මුදල් සාවද්‍ය සාපරාධී ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ. එය සළකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝෂියස් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට වරෙන්තු නිකුත් කර තිබිණ. එලෙස වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් සළකා බලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු නොකරන ලෙසට පසුගිය මාර්තු 13 වැනිදා අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කර තිබිණ. පැමිණිල්ල ලබන සැප්තැම්බර් 9 වැනිදා යළි කැඳවීමට ද එහිදී නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරයා අර්ජුන මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන මහත්වරුන්ට නිකුත් කර තිබූ වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරිමට ගත් පියවර පිළිබඳ එදිනට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/207326267048400/