සුනිල් ජයවර්ධන අවසන් ගමන් යයි

සුනිල් ජයවර්ධන අවසන් ගමන් යයි

by Staff writer 14-06-2020 | 8:34 PM

COLOMBO (News 1st) – පොදු ගැටලුවක් ගැන කතා කරන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි.

ඒ, කැස්බෑව පොදු සුසාන භූමියේදීය. මිය යනවිට 53 වන හැවිරිදි වියේ පසු වූ සුනිල් ජයවර්ධන මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ සිට විශාල පිරිසක් නිවසට පැමිණියේ ය. දේශපාලන නායකයින්, මහජන නියෝජිතයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශව ඒ අතර විය. බිරිඳ, දරුවන්, නෑ හිත මිතුරන් ඇතුළු බොහෝදෙනා කම්පා කරවමින් ඔහු යළිත් නොඑන්නට මෙලෙස නිවසින් පිටව ගියේ ය. කොරෝනා වසංගතය නිසා ණය ආපසු ගෙවීම ප්‍රමාදවීමෙන් ගැටලුවකට මැදි වූ තම සගයෙකුට සහනයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ ජයවර්ධන මහතා ඝාතනය කෙරිණි. දේහය කැස්බෑව පොදු සුසාන භුමියට රැගෙන ආවේ රිය පෙරහැරකිනි. බිරිඳගේ හා දරුවන් තිදෙනෙකුගේ සිත්වල සදාකාලික මතකයක් තැන්පත් කරවමින්,, සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු මෙලෙස සිදු කෙරිණි. මේ අතර, 'ලීසිං සීසර් මාෆියාව වහා නවතනු. සුනිල් ජයවර්ධනට යුක්තිය ඉටු කරනු' ලෙස අද දිවයිනේ ප්‍රදේශ රැසක මෙවැනි විරෝධතා පුවරු දක්නට ලැබුණේ ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙනි. ඊට එක්ව සිටි ත්‍රීරෝද රථ රියැදුරන් ඇතුළු පිරිස් ඉල්ලා සිටියේ සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසය. ගාල්ල, අකුරල, කහව එක්සත් ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය අද රථ පෙළපාළියකින් කහව මංසන්දියට පැමිණ විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා නිහඬ විරෝධතාවක් ඇරඹුවේ ය. එහිදී අදහස් දැක්වූ ත්‍රීරෝද රියැදුරෙක් රටේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ ලීසිං මාෆියාවෙන් අපේ සභාපතිතුමාට මැරුම් කන්න සිද්ධවුණා. මේ රටේ ලියාපදිංචි ත්‍රිරෝද රථ තියෙනවා ලක්ෂ 10 ක් විතර. මේ ලක්ෂ 10 ම මැරුණා වගේ දෙයක් මේ වුණේ. අප් බලාපොරොත්තු වුනේ මේ වගේ දෙයක් නෙවෙයි. පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් ද අද නගර මධ්‍යයේ නිහඩ විරෝධතාවක නිරත විය. එහිදී අදහස් දැක්වූ ත්‍රීරෝද රියැදුරන් අපි කියන්නේ ජනාධිපතිතුමනි, අගමැතිතුමනි අපි කියන්නේ කරුණාකරලා. මේක බැංකු ක්‍රමයකින් මේක ලබාදෙන්න කියලා මම ඔබතුමාලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේක කරුණාකරලා රජයට භාර අරගෙන. මේක හොයන්න. සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහකයින් හා ඇතුගල්පුර ත්‍රීරෝද රථ රියැදුරන්ද නිහඩ විරෝධතාවයක නිරත වුණේ කුරුණෑගලදී ය. එහිදී අදහස් දැක්වූ ත්‍රීරෝද රියැදුරන් මේ ම්ලේච්ච මැර ප්‍රහාරය අපි දැඩිව හෙලා දකිනවා. අපි ජනාධිපතිතුමාගෙන් තරයේ ඉල්ලා සිටිනවා. එතුමාව සාහසික ලෙස ඝාතනය කරපු සියල්ලන්ටම මරණ දඬුවම දෙන්න කියලා.