ධවල මන්දිරයත් අඳුරු වෙයි..

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා ගැටුම් දක්වා වර්ධනය වෙයි: ධවල මන්දිරයත් අඳුරු වෙයි..

by Staff writer 01-06-2020 | 9:19 PM

News 1st: නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීමට එරෙහිව අමෙරිකාව තුළ ක්‍රියාත්මක විරෝධතා උත්සන්න වී තිබේ.

ධවල මන්දිරය ඉදිරිපිටට රැස් වූ විරෝධතාකරුවන් පළවා හැරීමට එරට ආරක්ෂක අංශ ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේ ය. අදාළ උද්ඝෝෂණ හමුවේ අමෙරිකානු ජනධිපතිවරයාව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් තිබු අතර උද්ඝෝෂණවලින් මේ වනවිට පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිට පැවති උද්ඝෝෂණ තව තවත් උත්සන්න වීමත් සමග ඊයේ දින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව ධවල මන්දියේ භූගත බංකරය වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගත්තේ ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් විමුක්තිය සොයන විරෝධාතාකරුවන් ධවල මන්දිරය ඉදිරිපිට නොසන්සුන් වීමත් සමග ධවල මන්දිර විදුලිය මෙලස විසන්ධි කිරීමය බලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින‍ උද්ඝෝෂණ මාලාව තව තව ත් වර්ධනය වූයේ ඊයේ දිනයේ ඇට්ලැන්ටා නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්තවීමත් සමගය. ඇට්ලැන්ටා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම නගරයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට එරෙහිව අනිසි ලෙස බලය භාවිත කිරීම හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට මේ වනවිට අමෙරිකානු පරිපාලනය කටයුතු කර තිබේ. අදාළ වීඩියෝවේ දැක්වුණේ, මෙම නිලධාරීන් දෙදෙනා බලහත්කාරයෙන් මෝටර් රථයක් නතර කර එහි වීදුරු කඩා එහි සිටි කාන්තාවක් බලහත්කාරයෙන් රථයෙන් ඉවතට ඇද එහි සිටි පුද්ගලයාට අමානුශික ලෙස මෙල්ල කරන ආකාරයයි. මේ අතර අමෙරිකානු පොලිස් නිලධාරීන් හා කළු ජාතිකයින් අතර වූ දරුණු ගැටුම් දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ද මේ වන විට සමාජ මධ්‍ය හරහා වේගයෙන් සංසරණය වේ. පසුගිය 27 වන දා අමෙරිකාවේ, මිනියාපලිස් නගරයේ ජෝර්ජ ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වීමක් සමග මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඇට්ලැන්ටා, ලොස්ඇන්ජලින්, ෆිලඩෙල්ෆියා, ඩෙන්ව, සින්සිනැටි, පොර්ට්ලන්ඩ් සහ ඔරෙගන් ඇතුළු නගර රැසක මේ වන විටත් ඇදිරි නීතිය පනවා ඇති අතර පසුගිය සති අන්තයේදී ඩැලස්, චිකාගෝ සහ ක්ලීව්ලන්ඩ් ඇතුළු නගරවලත් නව ගැටුම් උත්සන්න වී තිබේ. මේ අතර පෝට්ලන්ඩ් නගරයේ දී අමෙරිකානු පොලීසිය හා උද්ඝෝෂකයින් අතරත් ගැටුම් තීව්‍ර වීමත් සමග කඳුළු ගැස් ප්‍රහාර ද එල්ල කිරීමට පියවර ගැනිණි. මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ එම නගරයේ ඇඳිරි නීතිය ද පනව ඇති අවස්ථාවකවයි. නිව්යෝර්ක් නගරයේ විරෝධතාවයේ නිරත හා ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු පොලීසිය කටයුතු කළ අතර මෙම ගැටලුව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක්ව තිබේ. නිව්යෝර්ක් නගරයේදී පුද්ගලයින් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි තබා දේපොළ හානි කිරීම් ද වාර්තා විය. නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නුවරදී බ්ලැක් ලයිව්ස් මැටර් යන්න තේමා කරගනිමින් උද්ඝෝෂණ ද ක්‍රියාත්මක වේ. නමුත් මෙම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන නෙමැති බව සඳහන් වේ. අමෙරිකාවේ, කෙන්ටකි නගරයේ තම කණ්ඩායමෙන් වෙන් වූ පොලිස් නිලධාරියෙක් ආරක්ෂා කිරීමට උද්ඝෝෂකයින් ක්‍රියා කර තිබේ. උද්ඝෝෂණ සාමකාමී ලෙස පවත්වන ලෙස ඉල්ලීමක් කරමින් නිව්යෝර්ක් හි ක්වීන්ස් ප්‍රදේශයේ දනින් වැටී සංකේතාත්මකව ආයාචනා කරන ආකාරය ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අමෙරිකාවේ මිසුරි නුවර සිට තොරතුරු ගෙන එන අනුශ්කා තිවාරි
අමෙරිකාවේ පොලීසියේ ක්‍රිය කාලපය මූලික කර ගනිමින් මේ වනවිට ඇති වී තබෙන උද්ඝෝෂණ මාලාව දිනෙන් දින උත්සන්න වන ආකාරය දැක ගන්නට තිබෙනවා. පසුගිය 27 වන දා ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැත්තා පොලිස් නිලධාරියෙක් හමුවේ ඝාතනයට ලක් වීමක් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු සමාජය තුළ කළු ජාතිකයන්ට ඇති වී තිබෙන අඩත්තේට්ටම්වලට එරෙහිව බලධාරීන් නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙසට බල කරිමින් තමයි මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙන්නේ. මිසූරි හී ආණ්ඩුකාර විධායක නියෝගයක් නිකුත් කරමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලුවිස් කවුන්ටි සහ ෆර්ගසන් ප්‍රදේශ උද්ඝෝෂණ තව ත් දරුණු අතට පත්ව තිබෙනවා. ෆර්ගසන්හි පොලිස් මූලස්ථානයට ද මේ වනවිට ප්‍රහාර එල්ල වෙලා තිබේ.
1992 අමෙරිකාවේ, ලොස්ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු රොඩ්නි කිං නැමති කළු ජාතික පුද්ගලයාට එරෙහිව අනිසි ලෙස බලය භාවිත කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් පොලිස් නිලධාරීන් සියලුදෙනා නිදහස් කිරීමත් සමග අමෙරිකාවේ මෙවැනිම තත්ත්වයක් හට ගත්තේ ය. විශ්ලේෂකයින් පවසන්නේ, මෙම වත්මන් තත්ත්වය 1992 අඳුරු මතකයන් නැවත සිහි ගන්නවන බවයි. එවකට පැවති කෝලහාලය අවසන් වන විට 63 දෙනෙකුට ජීවත අහිමි වූ අතර 2383 දෙනෙකු තුවාල ලබා 12,000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට පත් විය. මේ අතර වාර්තාවලට අනුව මිනිමැරුම් චෝදනාවට ලක්ව සිටින පොලිස් නිලධාරියා හා ඝාතනය වූ කළු ජාතිකයා එකම රාත්‍රී සමාජ ශාලාවක පසුගිය වසර වන තෙක් සේවය කළ බවත් ඔවුන් එකි නෙකා හඳුනා නොගත් බවත් වාර්තා වේ. එම සමාජ ශාලාවේ හිමිකාරිය පවසන්නේ, එම පොලිස් නිලධාරියා එම කාලය තුළදී අනි බලය භාවිත කරමින් සමාජ ශාලාවට පැමිණෙන පුද්ගලයන්ට අඩත්තේට්ටම් කළ බවය. මෙලෙස පොලීසිය මගින් කළු ජාතික පුද්ගලයන් ඝාතනය වීමට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් සමගම මෙම තත්ත්වය සමතයකට ගෙන ඒමට තව ත් බෙහෝ කල් ගතවනු ඇතැයි විද්වතුන්ගේ අදහසයි.