මද්දකට හසු වූ දුර්ලභ කළු කොටියා මුදා ගැනේ

නල්ලතන්නියේදී මද්දකට හසු වූ දුර්ලභ කළු කොටියා මුදා ගැනේ

by Chathuranga Rajapaksha 26-05-2020 | 8:15 PM

UPDATE : 8.15 PM  දුර්ලභ කළු කොටියෙකු හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේ අටවා තිබූ මද්දක හසුවී තුවාල ලැබුවේ ය.

අප වාර්තාකරු පැවසුවේ අද දහවල් කාලයේ සිට එම සත්වයා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරන බවයි. හැටන්,නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසළ එළවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දකට එම කළු කොටියා හසු වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, කොටියෙකු කෑ ගසන ශබ්දය ඇසී වතු කම්කරුවන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි. දහවල් වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණෙනවිටත් කළු කොටියා දැඩි අපහසුවකින් පෙලුණු අතර තුවාල ඇති අයුරුද දක්නට ලැබුණි. උඩවලව හා රන්දෙනිගල ප්‍රදේශ භාර පශු වෛද්‍යවරුන් දෙදෙනා කොටියාට ප්‍රතිකාර කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අතර අද පස්වරුව වනවිටත් ප්‍රතිකාර සිදුකෙරමින් පැවතුණි. වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සතා නිරුපද්‍රිතව බේරගෙන තිබෙනවා. ප්‍රතිකාර කරලා පරිසරයට අපි නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයක් තියෙන්නේ මෙයාගේ ජාන විකෘතියක් තියනවා. මෙයා බ්ලැක් කළු වෙලා තියනවා. අනෙක් සතුන් එක්ක සංසන්දනය කරපුවාම මෙවැනි සත්තු 1% පමණ තමයි ඉන්නේ . ලොව වෙසෙන කොටින් වර්ග 8ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උප විශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමීත ගහණය හේතුවෙන් ය. කළු කොටියා ලෙස ජන ව්‍යවාහාරයේ හැදින් වෙන මෙම සත්වයා ශ්‍රි ලංකාවේ අතිශය දුර්ලභයි. ශ්‍රී ලංකාවේ කොටියා නැමති උප විශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙස මෙම සත්ත්වයා හදුන්වන අතර ඒ පිළිබඳ කරුණු ද විවාදාත්මක වේ. මෙම සත්ත්වයා ශ්‍රී ලංකාව තුළ ජීවමානව නොසිටින බවට තොරතුරු වාර්තා වී තිබුණ ද එම මතය වෙනස් කරමින් පසුගිය ජනවාරී මාසයේදී කළු කොටියෙකු පිළිබඳ සාක්ෂි වාර්තා වූයේ ද අද වාර්තා වූ ස්ථානයට කිලෝ මීටර් 10 ක පමණ දුරකින් ය. වන ජීවී දෙපාර්තමේන්තුව සවි කළ දුරස්ථ චලන සංවේදී කැමරාවක පසුගිය වසරේ ඔක්තොම්බර් මස 26 වෙනිදා එම සත්ත්වයා සටහන්ව තිබුණි. දෙපාර්තමේන්තුව එදින ප්‍රකාශ කළේ, කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උප විශේෂයට අයත් ගැහැණු සත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්වයෙකු ද සිටින බවයි. කෙසේ වෙතත් අනතුරට ලක්ව ඇත්තේ මීට පෙර කැමරාවල සටහන් වූ කළු කොටියාද යන්න තවමත් තහවුරු වී නොමැත.  

-----------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) 2.00 PM : දුර්ලභ කළු කොටියෙකු නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ, වාලමලේ කොටසේදී මද්දකට හසුවී තිබේ.

වන සතුන්ට අටවල ලද මද්දකට මෙම කොටියා හසු වී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. එම කොටියා තුවාල සහිතව සිටින නිසා වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් පැමිණ නිර්වින්දනය කර මුදා ගැනීමට කටයුතු කරන තෙක් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ද අප වාර්තානකරු සඳහන් කළේය.