මහ මැතිවරණයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

මහ මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට ගොනු කෙරූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට

by Staff writer 04-05-2020 | 5:42 PM

COLOMBO (News 1st) - ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ මුද්‍රිත පිටපත් අද ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදුන්නේය.

රටපුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් ඇති කාල වකවානුවක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීම රට වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ඇද දැමීමක් බව පෙත්සමේ සඳහන් වේ. එහි දැක්වෙන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වන බවයි. පෙත්සම විභාගයට ගෙන ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීම අතුරු තහනම් නියෝගයක් මගින් අත්හිටුවන ලෙසත් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බලශූන්‍ය කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපතිවරයා සහ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින් පෙත්කම ගොනුකර තිබේ. එම මුලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 11, 13 හෝ 14 යන දින තුනෙන් එක් දිනයක කැඳවන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරුන් මෝසමක් මගින් අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළේය.