කොරෝනා අස්සේ ඇප ගන්න ගිය අය

කොරෝනා මැද ඇප ගැනීමට උත්සාහ කළ ජාවාරම්කරුවන්

by Staff writer 02-04-2020 | 7:03 PM

COLOMBO ( News 1st ) -  කොරෝනා වසංගත තත්ත්වය සළකා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් අද කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාර හා රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ද මෙම ඇප අයැදුම් ඉදිරිපත් කළ අය අතර වේ. ඇප අයැදුම්පත් 121 ක් කොළඹ මහාධිකරණ 5 ක් හමුවේ අද සළකා බැලුවේය. එහිදී තානාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඉදිරිපත් කළ විරෝධතා සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ ඇප අයදුම්පත් සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. කොරෝනා වසංගතයට මුවාවී ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු දරුණුගණයේ අපරාධකරුවන් ඇප ලබා ගැනීමට සැලසුම්සහගතව කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ඔහු කියා සිටියේ මෙම කුමන්ත්‍රණය පැරදවීමට නීතිපතිවරයාට උපරිම සහාය ලබාදීම අධිකරණයේ ප්‍රධාන වගකීම බවය. මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්තා වී නැති බන්ධනාගාරය, හොඳම නිරෝධායන මධ්‍යස්ථානය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය. රට පුරා ඇදිරිනීතිය පනවා ජනතාව කොරෝනා වසංගතයෙන් ගලවා ගැනීමට රජය බලවත් වෑයමක් දරණ අවස්ථාවක 120 ක් වැනි සුළු පිරිසකගේ ඉල්ලීම් මත හදිසියේ අධිකරණය කැඳවා ඇප අයැදුම්පත් සළකා බැලීමෙන් ඇතිවන සෞඛ්‍ය අවදානම පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ මුකවඩාම් බැඳ අධිකරණ කටයුතු සිදුකළ නොහැකි බවයි. වෛසරය ශරීර ගතවූ එක් අයෙකු හෝ අද අධිකරණයේ සිටියහොත්, හෙට දිනයේදී අති විශාල සංඛ්‍යාවක් වසංගතයට ගොඳුරු නොවන බවට අධිකරණයට සහතිකයක් දිය හැකි දැයි දිලීප පීරිස් මහතා විමසා සිටියේය. නීතිපතිවරයා ඊයේ දිනයේ අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීම අනුව හැකි තරම් සුරක්ෂිත ආකාරයට කටයුතු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව විසින් අධිකරණයට උපදෙස් ලබා දී ඇති බව මහාධිකරණ විනිසුරුවරුන් ප්‍රකාශ කරනු ලැබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වන අවස්ථාවේ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා පෙරළා ප්‍රශ්ණයක් නගමින් මහාධිකරණ විනිසුරුවරුන් තොත්ත බබාලා ලෙස නීතිපතිවරයා දකින්නේදැයි විමසා සිටියේය. රටේ බහුතර ජනතාවගේ සුරක්ෂිතභාවය සඳහා තමන් නීතිපතිවරයා වෙනුවෙන් දක්වන කරුණු කෙරෙහි අධිකරණය දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ප්‍රකාශ කළේය. මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ නීතිපතිවරයා පෙන්වා දීමට උත්සාහ දරණ කරුණු පිළිබඳව අධිකරණයට වටහා ගත හැකි නමුත් අධිකරණ සේවා කොමිසම නිකුත් කරන උපදෙස් පිළිපැදීමට බැදී ඇති බැවින් ඇප අයදුම්පත් සළකා බැලීමට තම අධිකරණයට සිදුවන බවය. අධිකරණය විසින් ඇප නියමකර ඇති නමුත් ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ඇප මත මුදා හැරීමට ජනාධිපතිවරයා පත්කළ නීතිඥවරුන්ගේ කමිටුව නිර්දේශ කිරීමෙන් අනතුරුව අද සහ හෙට මහාධිකරණයේ විශේෂ නඩු දිනයන් ලෙස නම් කළේය.