පුද්ගලයින් 7500 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

පුද්ගලයින් 7500 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට - යුද හමුදාපති

by Staff writer 26-03-2020 | 8:20 AM

COLOMBO (News 1st) - දිවයින පුරා පුද්ගලයින් 7500 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තව ත් කණ්ඩායමක් අද එම මධ්‍යස්ථානවලින් පිටත් කිරීමට නියමිතය. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න ප්‍රධාන නගර වෙත රැගෙන යන බවයි. කොරෝනා ආසාධනය වී සුවය ලැබු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව තුනකි. ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යාතනය සඳහන් කළේ, සුවය ලැබූ කාන්තාවක් පෙරේදා රෝහලෙන් පිටව ගිය බවය. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ පස්වරු 4.30 වනතෙක් කිසිදු ආසාදිතයෙකු මෙරටින් වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය තහවුරු කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වනවිට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන මෙරට රෝගීන් සංඛ්‍යාව 99 කි. කොරෝනා බවට සැකපිට රෝගීන් 255 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහලේ සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.