පොදු ගැටලු ගැන වීමසීමට දුරකතන අංක කිහිපයක්

පොලිස් ඇඳිරි නීතිය කාලයේ පොදු ගැටලු ගැන වීමසීමට දුරකතන අංක කිහිපයක්

by Staff writer 25-03-2020 | 6:56 PM

COLOMBO (News 1st) - පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ දී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් ඒ පිළිබඳ විමසීමට දුරකතන අංක කිහිපයක් පොලීසිය විසින් හදුන්වා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 011 2 4444 80 , 011 2 4444 81 යන අංක අමතා එවැනි ගැටලු දැනුම් දිය හැකිය. රටේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පොලිස් ඇඳිරි නිතීය පවතින කාලයේදී මහජනතාවට ඇතිවන සෞඛ්‍ය ගැටලු, විදුලිය විසන්ධිවීම්, ජලය අත්හිටුවීම් ඇතුළු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක අමතා දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය. මහජනතාවගෙන් ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි මාධ්‍ය ඒකකය සඳහන් කළේය. මීට අමතරව, නිරෝධායනය වීම සඳහා නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති පුද්ගලයින්ගේ නිවැසියන් නිවෙස්වලින් පිටතට පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් වුවද මෙම අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.