රවීට වරෙන්තු නිකුත් කිරීමට පෙර ප්‍රශ්නාවලියක්

රවී ඇතුළු 12 දෙනාට වරෙන්තු නිකුත් කිරීමට පෙර කරුණු කිහිපයක් පැහැදිලි කරගැනීමට අවශ්‍යයි - කොටුව මහේස්ත්‍රාත්

by Staff writer 06-03-2020 | 12:27 PM

COLOMBO ( News 1st ) -  මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට පෙර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දැනුම් දුන්නේ ය.

ඒ, ඊට අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ය. අදාළ කරුණු සඳහා පිළිතුරු අද පස්වරු 2.30 ට පෙර අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට නියෝග කළේ ය. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ සැකකරුවන් අතුරින් ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරියෙකු වන බුද්ධික සරච්චන්ද්‍ර මහතාට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 03දෙනෙකුට මෙම සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳවයි. මෙකී අපරාධයට ඔවුන්ගේ සෘජු දායකත්වය පැහැදිලි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. එමෙන්ම බැඳුම්කර වෙන්දේසියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතන, කොපමණ මුදලක් වැය කර, කොපමණ කොටස් මිලදී ගත්තේදැයි නිශ්චිතව තම අධිකරණයට පැහැදිලි කරගත යුතු බව ද මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ය. ඒ අනුව අදාළ ප්‍රශ්නාවලියට පිළිතුරු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පස්වරු 2.30ට සැකකරුවන්ට එරෙහි වරෙන්තු නියෝගය ලබාදීම සම්බන්ධයෙන් නඩුව යළි කැඳවීමට නියමිතයි.