නීතිපතිගෙන් ජනාධිපති කොමිෂන් සභාවට දැනුම්දීමක්

පවතින නඩු සම්බන්ධයෙන් තමන්ට නියෝග දීමට පරීක්ෂණ කොමිෂන් සභාවකට කිසිදු අයිතියක් නැහැ - නීතිපති

by Staff writer 28-01-2020 | 5:14 PM

COLOMBO (News 1st) - අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් තමන්ට නියෝග දීමේ කිසිදු නෛතික අයිතියක් පරීක්ෂණ කොමිෂන් සභාවකට නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ, තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අයතු ලෙස සිර කර තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් ඩි.කේ.පි දසනායක ඇතුළු 14 දෙනෙකුට එරහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කොමිෂන් සභාවේ අවසන් නියෝගය නිකුත් කරන තෙක් තවදුරටත් පවත්වා ගෙන නොයන ලෙසට කර තිබු දැනුම්දීමට පිළිතුරු යවමිනි. නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 C සහ 105 ව්‍යවස්ථා ප්‍රකාරව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරි කටයුත්කක් වන පැමිණිල්ලක් මෙහෙයවීම නතර කිරීමට විමර්ශන කොමිෂන් සභාවකට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවයි. 2008 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව පිහිටුවනු ලැබූ විමර්ශන කොමිෂන් සභාවකට නීතිපතිවරයාට නියෝග ලබාදීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බව නීතිපතිවරයා පෙන්වා දෙයි. තම දෙපාර්තමේන්තුව විසින් අධිකරණයක් හමුවේ නඩු පවරනු ලැබුවේ විමර්ශනවලදී ඉදිරිපත් වන සාක්ෂි පදනම් කරගෙන බවත්, වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බවත් නීතිපතිවරයා ජනාධිපති කොමිසමට දැනුම්දී ඇත. දප්පුල ද ලිවේරා මහතා පෙන්වා දෙන්නේ, තමන්ගේ අවධානයට යොමු කර ඇති මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් සිය ඉල්ලීම මත පත් කරනු ලැබ ඇති බවයි. එම විනිසුරු මඩුල්ල හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබුවේ, සියලුම නෛතික ක්‍රමවේද අනුගමනය කිරීමෙන් හා තමන් වෙත පැවැරි ඇති නෛතික බලතල අනුව බව නීතිපතිවරයා ජනපති කොමිසමට දන්වා යවා තිබේ.