දුරකතන සංවාද පැවැත්වූ විනිසුරුවන්ගෙන් කරුණු විමසයි

රන්ජන් සමග සංවාද පැවැත්වූ විනිසුරුවරුන්ගෙන් කරුණු විමසයි

by Staff writer 12-01-2020 | 5:25 PM
COLOMBO (News 1st) : මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාද පැවැත්වූ බව කියන විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව නිදහසට කරුණු විමසා තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන සතිය අවසන් වීමට පෙර අදාළ කරුනු කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවට ඔවුන්ට දැනුම් දී ඇති බවයි. දුරකථන සංවාද පැවැත්වූ බවට චෝදනා එල්ල වන විශ්‍රාමික විනිසුරුවරිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් ඇතැයි, නිවුස්ෆස්ට් කළ විමසීමකදී අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ බවට චෝදනා එල්ල වන විනිසුරුවරුන් තිදෙනෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි අධිකරණ සේවා කොමිසන් සභාව මීට පෙර සඳහන් කළේ ය. එම කොමිසම සදහන් කළේ, අදාළ ක්‍රමවේදයන්ට අනුව එම විනිසුරුවරුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය දරන අතර එය තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි.