රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි

රන්ජන්ගේ හඬපට පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි, නියෝග

by Staff writer 09-01-2020 | 7:00 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබියදී අත්අඩංගුවට ගත් දුරකථන සංවාද අඩංගු හඬපට හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර අනුපිටපත් හා රස පරීක්ෂණ වාර්තා කැඳවන ලෙස අධිකරණය අද නියෝග කළේ ය. නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල මහතා එම නියෝගය කළේ, ඒ පිළිබඳ විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. එම හඬපට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා හා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් එකී හඬපටවල අඩංගු සංවාද නිශ්චිතව අධිකරණයට වාර්තා කිරීම සඳහා එම හඬපටවල අනුපිටපත් මෙන්ම ඒවා පටිගත කිරීමට උපයෝගී කරගත් පරිගණක හා දෘඩාංග සම්බන්ධයෙන් දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බව කොළඹ අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.