කොළඹ - ලන්ඩන් ගුවන් මාර්ගයේ වෙනසක්

ඉරාන - ඉරාක ගුවන් අවකාශය මග හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය තීරණය කරයි

by Staff writer 08-01-2020 | 1:20 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය වෙනස් කර තිබේ.

ඒ, ඉරාන, ඉරාක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. ශ්‍රී ලංකා ගුවන් සේවය පැවසුවේ, ඉරාන සහ ඉරාක ගුවන් අවකාශය මග හැර තම යානා පියාසර කිරීමට තීරණය කර ඇති බවයි. අමෙරිකාව සහ ඉරානය අතර පවතින තත්ත්වය නිරීක්ෂණය කරන බවත් ඒ අනුව ජාත්‍යන්තර සහ ජාතික ආයතන සමග සබඳතා පවත්වා ගනිමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාවට මුල්තැන ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේ ය.