ගුවන් අනතුරේ වාර්තාව කඩිනමින් දෙන්නැයි නියෝග

හපුතලේ ගුවන් අනතුර: අතුරු වාර්තාව දින 3ක් තුළ ලබා දෙන්නැයි ගුවන් හමුදාපතිගෙන් නියෝග

by Staff writer 05-01-2020 | 5:17 PM

COLOMBO ( News 1st ) - හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධ අතුරු වාර්තාවක් දින 3ක් ඇතුළත ලබාදෙන්නැයි ගුවන් හමුදාපතිවරයා ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවට දැනුම් දී තිබේ.

නිවුස් ෆස්ට් කළ විමසීමකදී ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් වාර්තාව ලබාදීමට සති 2ක කාලයක් ලබා දී ඇති බවයි. එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත් වේ. මේ වනවිට අදාළ කමිටුව සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ ය. විමර්ශන කමිටු වාර්තාව ලැබීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය වුවහොත් පමණක් විදේශීය විශේෂඥ සහය ලබා ගන්නා බව ද ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පැවසුවේ ය. පෙරේදා පෙරවරු 9 ට පමණ හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් Y12 යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු මියගියේ ය. එලෙස අනතුරට ලක්වූයේ වීරවිල සිට දියතලාව දක්වා ආවේක්ෂණ රාජකාරීවල නිරත යානයකි.