ජනපතිගේ නම භාවිත කර රැකියා දීමට තැත්කළ පිරිසක්

ජනපතිගේ නම භාවිත කර රජයේ රැකියා වෙනුවෙන් මුදල් වංචා කළ පිරිසක් කොටු

by Staff writer 09-12-2019 | 8:33 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ නම භාවිත කර රාජ්‍ය ආයතනවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, ඊට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා සමග සමීප සබඳතා පවතින බව අඟවමින් පිරිසක් මෙම කූඨ ව්‍යාපාරයේ නිරත වන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද පෙරවරුවේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නිහාල් දසනායක නැමැත්තෙකු හා සෙවනගල ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකු වන නුවන් ජයකොඩි යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගු‍වට ගෙන තිබේ. උපක්‍රමික මෙහෙයුමක් මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මුදල් ලබාගන්නා අවස්ථාවේදීම බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙවන් සිද්ධින් පිළිබඳව තොරතුරු ඇත්තම්, 071 8 591 017, 011 2 662 323 හෝ 071 8 591 727 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත බාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.